යෙරමියා 33:12-26

යෙරමියා 33:12-26 SCV

“සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මිනිසකු හෝ සතකු හෝ නැතිව පාළුවට ගොස් තිබෙන මේ ස්ථානයෙහි, මෙහි සියලු නගරවල තමන්ගේ එළු බැටළු රංචුවලට විවේකය දෙන එඬේරුන්ට තණ බිම්හි වාසස්ථාන ඇතිවනු ඇත. කඳු රටේ පුර-නගරවල ද ෂෙෆේලා පුර-නගරවල ද නෙගෙබ් පුර-නගරවල ද බෙන්යමින් පළාත් ද යෙරුසලම අවට ගම්වල හා යූදා පුර-නගරවල ද රංචු, ගණන්ගන්නාගේ අත යටතේ, එළු බැටළු රංචු යළි යනු-එනු ඇතැ’ යි ස්වාමින්වහන්සේ පවසන සේක. “ ‘මෙන්න, ඉශ්‍රායෙල් වංශයට හා යූදා වංශයට මා කළ පොරොන්දු මා විසින් ඉෂ්ට කරන දවස් පැමිණෙන්නේ යැ’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ ‘එදවස්හි, එකල්හි දාවිත් උදෙසා ධර්මිෂ්ඨ ශාඛාවක් හටගන්වන්නට ක්‍රියා කරන්නෙමි. එතුමාණන් දේශයෙහි යුක්තියත්, දමිටුකමත් පවත්වනු ඇත. එදවස්හි දී යූදා ගලවනු ලැබේ. යෙරුසලම සුරැකි ව වෙසෙනු ඇත. එය හඳුන්වනු ලබන්නේ, අපේ ධර්මිෂ්ඨකම වන ස්වාමින්වහන්සේ යන නාමයෙනි.’ මන්ද ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඉශ්‍රායෙල් වංශයේ සිංහාසනයේ හිඳ ගැනීමට දාවිත්ට කිසි කලෙක මිනිසකු නැති වන්නේ නැත. එසේ ම නිරතුරු මා ඉදිරියේ දවන යාග පූජා හා ධාන්‍ය පූජා හා යාග පූජා ඔප්පු කිරීමට, මිනිසකු, ලෙවීය පූජකයකු කිසි කලෙකත් නැති වන්නේ නැත.’ ” ස්වාමින්වහන්සේගේ වචනය යෙරමියා වෙත පැමිණියේ ය: “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘දහවල හා රාත්‍රිය, ඒවායේ නිසි වෙලාවට උදා නො වන හැටියට දහවල සමඟ ඇති මගේ ගිවිසුමත්, රාත්‍රිය සමඟ ඇති මගේ ගිවිසුමත් කඩා දමන්නට ඔබට හැකි නම්, මගේ සේවක දාවිත් සමඟ වූ මගේ ගිවිසුමත්, කඩ වන්නේ ය. එසේ වූ කල ඔහුගේ සිහසුනේ හිඳ ගැනීමට පුත්‍රයකු ඔබට නැති වන්නේ ය. තවද මගේ ගිවිසුම ප්‍රකාර මගේ පූජක මෙහෙයයේ යෙදීමට ලෙවීයයන් ද නැති වන්නේ ය. ස්වර්ගීය තාරකා සේනා ගැණිය නො හැකි පරිදි හා මුහුදු වැලි ගැණිය නො හැකි පරිදි මගේ සේවක දාවිත්ගේ පරපුර හා මට මෙහෙ කරන ලෙවීය පූජකයින් ගැණිය නො හැකි පරිදි මම වැඩි කරන්නෙමි.’ ” ස්වාමින්වහන්සේගේ වචනය යෙරමියා වෙත පැමිණියේ ය: “ ‘ස්වාමින්වහන්සේ ම තෝරා ගන්නා ලද පෙළපත් දෙක උන්වහන්සේ ප්‍රතික්ෂේප කර ඇතැ’ යි මේ ජනයා කියන කියමන ඔබ කල්පනාවට ගත්තේ නැති ද? මෙසේ, ඔවුහු මගේ ජනතාවට අවමන් කොට, තවදුරටත් ඔවුන් ජාතියක් කොට ඔවුහු ගණන් නො ගනිති. ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘දහවල හා රාත්‍රිය සමඟ වන මගේ ගිවිසුම ද අහස් හා පොළොවේ නියමයන් ද මා විසින් ස්ථාපිත නො කරන ලද නම්, යාකොබ්ගෙන් පැවත එන්නන් ද මගේ සේවක දාවිත් ද මා ප්‍රතික්ෂේප කරමින්, ආබ්‍රහම්ගෙන් ද ඊසාක්ගෙන් ද යාකොබ්ගෙන් ද පැවත එන්නන් පාලනය කිරීමට, ඔහුගෙන් පැවත එන්නෙක් තෝරා නො ගන්නට තිබිණි. මන්ද ඔවුන්ගේ භාග්‍යය මම යළි ස්ථාපිත කරන්නෙමි. මම ඔවුන්ට දයා වන්නෙමි.’ ”

යෙරමියා 33:12-26 සඳහා වීඩියෝව

යෙරමියා 33:12-26 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය