යෙරමියා 33

33
සාමය හා සෞභාග්‍යය
1රජ මාලිග ආරක්ෂක මළුවෙහි යෙරමියා සිරගත ව සිටියදී, ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් ඔහු වෙත පැමිණියේ ය: 2“පොළොව තැනූ ස්වාමින්වහන්සේ, එය හැඩ ගස්වා, එය ස්ථාපන කළ ස්වාමින්වහන්සේ, මෙසේ පවසන සේක: ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි: 3‘මට හඬ ගසන්න; එවිට මම ඔබට උත්තර දී, ඔබ නො දන්නා මහත් වූත්, සොයා දැනගත නො හැකි වූත් දෑ ඔබට පවසන්නෙමි.’ 4මන්ද වැටලුම් ගොඩැලිවලට එරෙහිව හා අසිපතට එරෙහිව ආරක්ෂාවීම පිණිස කඩා දමන ලද මෙම පුරවරයේ නිවාස හා යූදා රජ මාලිග ගැන ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: 5‘මගේ කෝපයෙන් හා මගේ උදහසින් මා විසින් මරා දමනු ලබන මිනිසුන්ගේ මළ මිනීවලින් ඒවා පුරවන්නට කල්දිවරුන් සමඟ සටන් කරන්නට ඔවුහු එන්නෝ ය. මන්ද මොවුන්ගේ සියලු දුෂ්ටකම් නිසා මේ පුරවරය වෙතින් මම මගේ මුහුණ සඟවා ගනිමි.
6“ ‘මෙන්න, මම ඊට සනීපයත්, සුවයත් ගෙනෙන්නෙමි. මම ඔවුන් සුවපත් කර, මගේ බහුලත්වය හා මගේ සමෘද්ධිය ඔවුනට එළිදරවු කරන්නෙමි. 7යූදාගේ භාග්‍යය සහ ඉශ්‍රායෙල්ගේ භාග්‍යය මම යළි පිහිටුවා, පළමු සිටි තත්වයට ඔවුන් යළි ගොඩ නගන්නෙමි. 8මට විරුද්ධ ව ඔවුන් කළ සියලු පාපවලින්, මම ඔවුන් පවිත්‍ර කරන්නෙමි. මට එරෙහිව වූ ඔවුන්ගේ සියලු කැරලිකාරී පාප, මම කමා කරන්නෙමි. 9පොළොවේ සියලු ජාතීන් හමුවෙහි මෙම පුරවරය මට කීර්ති නාමයක් ද ප්‍රීතියක් ද ප්‍රශංසාවක් හා ගෞරවයක් ද වන්නේ මා ඔවුන්ට කරන සියලු යහගුණ ඔවුන් අසන කල්හි ය. මා ඔවුන් උදෙසා සලසා දෙන සියලු සුබ සෙත හා සෞභාග්‍යය හේතු කොට ඔවුන් භයින් වෙවුලනු ඇත.’
10ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘මේ ස්ථානය පිළිබඳව ඔබ කියන්නේ, “මිනිසකු හෝ සතකු හෝ නැති පාළු කාන්තාරයක්” කියා ය. මෙසේ යූදා නගර හා යෙරුසලම් වීදී පාළුවට ගොස්, මිනිස් හා සත්ව වාසයෙන් තොර වුව ද, එහි යළිත් වරක් 11ප්‍රීතියේ නාද, ප්‍රමෝදයේ නාද හා මනාල කටහඬ, මනාලියන්ගේ කටහඬ ද
“ ‘සේනාංකවල ස්වාමින්වහන්සේට ස්තුති දෙනු.
මන්ද ස්වාමින්වහන්සේ යහපත් ය.
උන්වහන්සේගේ නොමියෙන පෙම සදාතනික යැ’ යි” ස්වාමින්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නවුන්ගේ සංගීත නාදය ද ඇසෙන්නට වෙයි.
මන්ද පෙර තිබූ පරිදි ම දේශයේ භාග්‍යය මම යළි ස්ථාපිත කරමියි ස්වාමින්වහන්සේ පවසන සේක.
12“සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මිනිසකු හෝ සතකු හෝ නැතිව පාළුවට ගොස් තිබෙන මේ ස්ථානයෙහි, මෙහි සියලු නගරවල තමන්ගේ එළු බැටළු රංචුවලට විවේකය දෙන එඬේරුන්ට තණ බිම්හි වාසස්ථාන ඇතිවනු ඇත. 13කඳු රටේ පුර-නගරවල ද ෂෙෆේලා#33:13 ෂෙෆේලා හෙවත් බටහිර කඳු බෑවුම්හි පුර-නගරවල ද නෙගෙබ්#33:13 නෙගෙබ් එනම් දකුණු දිශාව පුර-නගරවල ද බෙන්යමින් පළාත් ද යෙරුසලම අවට ගම්වල හා යූදා පුර-නගරවල ද රංචු, ගණන්ගන්නාගේ අත යටතේ, එළු බැටළු රංචු යළි යනු-එනු ඇතැ’ යි ස්වාමින්වහන්සේ පවසන සේක.
14“ ‘මෙන්න, ඉශ්‍රායෙල් වංශයට හා යූදා වංශයට මා කළ පොරොන්දු මා විසින් ඉෂ්ට කරන දවස් පැමිණෙන්නේ යැ’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
15“ ‘එදවස්හි, එකල්හි
දාවිත් උදෙසා ධර්මිෂ්ඨ ශාඛාවක් හටගන්වන්නට ක්‍රියා කරන්නෙමි.
එතුමාණන් දේශයෙහි යුක්තියත්, දමිටුකමත් පවත්වනු ඇත.
16එදවස්හි දී යූදා ගලවනු ලැබේ.
යෙරුසලම සුරැකි ව වෙසෙනු ඇත.
එය හඳුන්වනු ලබන්නේ,
අපේ ධර්මිෂ්ඨකම වන ස්වාමින්වහන්සේ යන නාමයෙනි.’
17මන්ද ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඉශ්‍රායෙල් වංශයේ සිංහාසනයේ හිඳ ගැනීමට දාවිත්ට කිසි කලෙක මිනිසකු නැති වන්නේ නැත. 18එසේ ම නිරතුරු මා ඉදිරියේ දවන යාග පූජා හා ධාන්‍ය පූජා හා යාග පූජා ඔප්පු කිරීමට, මිනිසකු, ලෙවීය පූජකයකු කිසි කලෙකත් නැති වන්නේ නැත.’ ”
19 ස්වාමින්වහන්සේගේ වචනය යෙරමියා වෙත පැමිණියේ ය: 20ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘දහවල හා රාත්‍රිය, ඒවායේ නිසි වෙලාවට උදා නො වන හැටියට දහවල සමඟ ඇති මගේ ගිවිසුමත්, රාත්‍රිය සමඟ ඇති මගේ ගිවිසුමත් කඩා දමන්නට ඔබට හැකි නම්, 21මගේ සේවක දාවිත් සමඟ වූ මගේ ගිවිසුමත්, කඩ වන්නේ ය. එසේ වූ කල ඔහුගේ සිහසුනේ හිඳ ගැනීමට පුත්‍රයකු ඔබට නැති වන්නේ ය. තවද මගේ ගිවිසුම ප්‍රකාර මගේ පූජක මෙහෙයයේ යෙදීමට ලෙවීයයන් ද නැති වන්නේ ය. 22ස්වර්ගීය තාරකා සේනා ගැණිය නො හැකි පරිදි හා මුහුදු වැලි ගැණිය නො හැකි පරිදි මගේ සේවක දාවිත්ගේ පරපුර හා මට මෙහෙ කරන ලෙවීය පූජකයින් ගැණිය නො හැකි පරිදි මම වැඩි කරන්නෙමි.’ ”
23 ස්වාමින්වහන්සේගේ වචනය යෙරමියා වෙත පැමිණියේ ය: 24“ ‘ස්වාමින්වහන්සේ ම තෝරා ගන්නා ලද පෙළපත් දෙක උන්වහන්සේ ප්‍රතික්ෂේප කර ඇතැ’ යි මේ ජනයා කියන කියමන ඔබ කල්පනාවට ගත්තේ නැති ද? මෙසේ, ඔවුහු මගේ ජනතාවට අවමන් කොට, තවදුරටත් ඔවුන් ජාතියක් කොට ඔවුහු ගණන් නො ගනිති. 25ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘දහවල හා රාත්‍රිය සමඟ වන මගේ ගිවිසුම ද අහස් හා පොළොවේ නියමයන් ද මා විසින් ස්ථාපිත නො කරන ලද නම්, 26යාකොබ්ගෙන් පැවත එන්නන් ද මගේ සේවක දාවිත් ද මා ප්‍රතික්ෂේප කරමින්, ආබ්‍රහම්ගෙන් ද ඊසාක්ගෙන් ද යාකොබ්ගෙන් ද පැවත එන්නන් පාලනය කිරීමට, ඔහුගෙන් පැවත එන්නෙක් තෝරා නො ගන්නට තිබිණි. මන්ද ඔවුන්ගේ භාග්‍යය මම යළි ස්ථාපිත කරන්නෙමි. මම ඔවුන්ට දයා වන්නෙමි.’ ”

දැනට තෝරාගෙන ඇත:

යෙරමියා 33: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න