යෙරමියා 29:4-11

යෙරමියා 29:4-11 SCV

යෙරුසලමේ සිට බබිලෝනියට මා විසින් පිටුවහල් කරන ලද සියල්ලන් හට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “නිවෙස් තනා, ඒවායේ පදිංචි වන්න. වතු පිටි වවා, ඒවායේ පලදාව කන්න. අඹුවන් ගෙන, දූ පුතුන් උපද්ද වන්න. ඔබේ පුතුනට අඹුවන් ආවාහ කොට ගෙන, ඔබේ දූවරුන් සැමියනට විවාහ කොට දී, ඔවුනටත් දූ පුතුන් උපදින්නට සලස්වන්න. මෙසේ එහිදී ගණනින් වැඩි වර්ධන වන්න; අඩු නො වන්න. මා විසින් ඔබ පිටුවහල් කරන ලද පුරවරයේ සුබ සිද්ධිය ද සොයන්න. එය උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. මන්ද එහි සෞභාග්‍යය, ඔබගේ සෞභාග්‍යය වේ.” ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔබ අතරේ සිටින දිවැසිවරුන්ට හා පේන කියන්නන්ට ඔබ රවටන්නට ඉඩ නො දෙන්න. ඔබ ඔවුන්ට දකින්නට සලසන සිහිනවලට සවන් නො දෙන්න. ඔවුහු මගේ නාමයෙන් බොරු අනාවැකි පවසති. මම ඔවුන් නො යැවීමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “බබිලෝනිය සඳහා සැත්තෑ වසර සම්පූර්ණ වූ කල, මම නුඹලා සොයා බලා, මේ ස්ථානයට නුඹලා ආපසු ගෙන ඒමේ මගේ පොරොන්දුව, ඉෂ්ට කරන්නෙමි. මන්ද ඔබ උදෙසා මා වෙත ඇති සැලසුම් මම දනිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඒවා සමෘද්ධියේ සැලසුම් ය. ඔබට හානිදායක ඒවා නො වේ. ඔබට අනාගතයක් හා අපේක්ෂාවක් දීමේ සැලසුම් ය.