යෙරමියා 28

28
ව්‍යාජ දිවැසිවර හනනියා
1එම අවුරුද්දේ ම, එනම් යූදාහි රජු වූ සෙදෙකියාගේ රාජ සමය මුලදී, හතර වන අවුරුද්දේ පස් වන මස, ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ පූජකයින් හා මුළු ජනයා ඉදිරිපිට අස්සූර්ගේ පුත්, ගිබෙයොන්හි හනනියා දිවැසිවරයා මට මෙසේ පැවසී ය: 2“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘බබිලෝනියේ රජුගේ වියගහ මම බිඳින්නෙමි. 3බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් විසින් මේ ස්ථානයෙන් ඉවත් කොට, බබිලෝනියට ගෙන යන ලද ස්වාමින්වහන්සේගේ ගෘහයේ සියලු උපකරණ අවුරුදු දෙකක් ඇතුළත මම මේ ස්ථානයට ආපසු ගෙනෙන්නෙමි. 4තවද යෙහෝයාකීම්ගේ පුත්, යූදාහි රජු වූ යෙකොනියා හා යූදාහි සිට බබිලෝනියට ගිය සෙසු පිටුවහලුන් සියලු දෙනා මම මේ ස්ථානයට ආපසු ගෙනෙන්නෙමි. මන්ද බබිලෝනියේ රජුගේ වියගහ මම බිඳින්නෙමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”
5එවිට දිවැසිවර යෙරමියා, ස්වාමින්වහන්සේගේ ගෘහයේ සිටගෙන හුන් පූජකයින් හා මුළු ජනයා ඉදිරිපිට දිවැසිවර හනනියාට පිළිතුරු දෙමින්, 6“ආමෙන්! ස්වාමින්වහන්සේ එසේ කරන සේක්වා! ස්වාමින්වහන්සේගේ ගෘහයේ උපකරණ හා සියලු පිටුවහලුන් බබිලෝනියේ සිට මේ ස්ථානයට ආපසු ගෙන ඒමෙන්, දිවැසි වැකියෙන් ඔබ කී වචන ස්වාමින්වහන්සේ ඉෂ්ට කරන සේක්වා. 7එසේ වුවත්, ඔබට ඇසෙන ලෙසත්, මේ මුළු ජනයාට ඇසෙන ලෙසත් මට කියන්නට ඇති වචනයට සවන් දෙන්න. 8ඔබටත්-මටත් කලින් සිටි දිවැසිවරු ඉහත කාලයේ පටන් බොහෝ රටවලටත්, මහා රාජ්‍යයවලටත් එරෙහිව යුද්ධය, විපත්තිය හා වසංගත ගැන දිවැසි වැකි පැවසූහ. 9එහෙත් සාමය ගැන දිවැසි වැකි කියන දිවැසිවරයා සැබවින් ම ස්වාමින්වහන්සේ විසින් එවන ලද්දෙකැයි හැඳින ගනු ලබන්නේ, ඔහුගේ දිවැසි වැකිය ඉෂ්ට වේ නම් පමණි” යි පැවසී ය.
10එවිට දිවැසිවර හනනියා, දිවැසිවර යෙරමියාගේ කරෙන් වියගහ ගෙන, එය බිඳ දැමී ය. 11මුළු ජනයා ඉදිරියෙහි හනනියා කතා කරමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මේ අයුරින් ම මම බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්ගේ වියගහ සියලු ජාතීන්ගේ ගෙලින් ගෙන, අවුරුදු දෙකක් ඇතුළත බිඳ දමන්නෙමි’ යි” පැවසී ය. එවිට දිවැසිවර යෙරමියා යන්නට ගියේ ය.
12දිවැසිවර හනනියා, දිවැසිවර යෙරමියාගේ කරෙන් වියගහ ගෙන, එය බිඳ, මද වේලාවක් ගත වූ පසු ස්වාමින්වහන්සේගේ වචනය යෙරමියා වෙත පැමිණියේ ය: 13“යන්න; හනනියාට මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: නුඹ කඩා දැමුවේ ලී වියගහකි; ඒවා වෙනුවට නුඹ යකඩ වියගහක් හදනු ඇත. 14ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක. බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්ට මෙහෙ කරනු පිණිස, මේ සියලු ජාතීන්ගේ කර පිට මම යකඩ වියගහක් තබන්නෙමි. ඔවුන් ඔහුට මෙහෙ කරනු ඇත. මන්ද වනයේ සතුන් පවා මම ඔහු යටතට දුනිමි.’ ”
15එවිට දිවැසිවර යෙරමියා, දිවැසිවර හනනියාට කතා කොට, “හනනියා, මේ අසනු, ස්වාමින්වහන්සේ නුඹ එවා නැත. නුඹ මෙම ජනයාට බොරුවක් මත විශ්වාසය තැබීමට සැලසී ය. 16එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔන්න, මේ පොළෝ තලයෙන් නුඹ පහ කර දමන්නට මම සූදානමින් සිටිමි. ස්වාමින්වහන්සේට එරෙහිව නුඹ කැරලිකාරී ව කතා කළ බැවින්, මේ අවුරුද්දේ ම නුඹ මියෙනු ඇතැ’ යි” කීවේ ය.
17එම අවුරුද්දේ ම හත් වන මාසයේ දිවැසිවර හනනියා මියැදුණේ ය.

දැනට තෝරාගෙන ඇත:

යෙරමියා 28: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න