යෙරමියා 22:1-9

යෙරමියා 22:1-9 SCV

ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “යූදා රජුගේ මාලිගයට ගොස්, එහිදී මේ වචනය පවසමින්, මෙසේ කියන්න: ‘දාවිත්ගේ සිංහාසනයේ හිඳ සිටින එම්බා යූදා රජ්ජුරුවනි, ඔබ ද ඔබේ නිලධාරීන් ද මෙම දොරටුවලින් ඇතුළු වන ඔබේ ජනයා ද ස්වාමින්වහන්සේගේ වචනය අසනු! ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: යුක්තියත්, දමිටුකමත් කරන්න. කොල්ලයට හසු වූ අය පීඩකයාගේ අතින් මුදන්න. විදේශික පදිංචිකරුවන්ටත්, පියා නැති අනාථයාටත්, වැන්දඹුවටත් අයුත්තක් හෝ හිංසාවක් හෝ නො කරන්න. මේ ස්ථානයෙහි නිදොස් ලේ නො වගුරු වන්න. මන්ද සැබවින් ම ඔබ මේ වචනවලට අවනත වේ නම්, දාවිත්ගේ සිහසුනේ හිඳ ගන්නා රජවරුන් මෙම ගෘහයේ දොරටු තුළින් ඇතුල්වන්නේ අශ්වයින් හා අශ්ව-රථ පදවමිනි. ඔවුන් සමඟ ඔවුන්ගේ සේවකයින් හා ජනතාව ද වනු ඇත. එහෙත් ඔබ මේ වචනවලට කීකරු නො වන්නේ නම්, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ, තමන්වහන්සේ ගැන ම දිවුරා සිටින්නේ, මෙම මාලිගය නටබුන් බවට පත් වන වගයි.’ ” මන්ද යූදා රජුගේ මාලිගය ගැන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඔබ මට ගිලියාද් වනය වගේ ය. ලෙබනොන් වන මුදුන වගේ ය. එනමුදු මම සැබවින් ම ඔබ කාන්තාරයක් කරන්නෙමි. ජනයා වාසය නො කරන නගරයක් කරන්නෙමි. හැම කෙනකු ම ආයුධ දරන විනාශකයින්, මම ඔබට එරෙහිව කැප කරන්නෙමි. ඔවුන් ඔබගේ අගනා දේවදාර කඳන් කපා, ඒවා ගින්නට ඇද දමනු ඇත. “නොයෙකුත් ජාතීන් මේ නගරය පසු කර යන අතර, ‘මේ ශ්‍රේෂ්ඨ පුරවරයට ස්වාමින්වහන්සේ මෙවැන්නක් කළේ මන්දැ?’ යි හැම මිනිසකු ම එකිනෙකාගෙන් විමසනු ඇත. එවිට ඔවුන් පිළිතුරු දෙනු ඇත්තේ, ‘ඔවුන් තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගිවිසුම ප්‍රතික්ෂේප කර, වෙනත් දෙවිවරුනට නමස්කාර කළ නිසාත්, ඔවුන්ට සේවය කළ නිසාත් ය.’ ”

මෙයට අදාළ වීඩියෝ