විනිසුරුවෝ 9
9
අබිමෙලෙක්
1යෙරුබ්බාල්ගේ පුත් අබිමෙලෙක්, තම මවගේ සහෝදරයින් වෙත ෂෙකෙම්ට ගොස්, ඔවුන්ට ද තම මවගේ පියවංශික මුළු පෙළපතට ද කතා කරමින්, 2“ෂෙකෙම්හි සියලු නායකයින් අසා සිටියදී මෙසේ කියන්න: ‘නුඹලාට වඩා හොඳ කොයි එක ද? යෙරුබ්බාල්ගේ පුතුන් හැත්තෑදෙනා ඔබේ පාලකයින් වෙනවාට ද? නැතහොත් එක් කෙනකු පමණක් ඔබ පාලනය කරනවාට ද?’ මතක තබා ගන්න, මා ඔබේ ම ඇට හා ඔබේ මාංසය යැ” යි කීවේ ය.
3ඔහුගේ මවගේ සහෝදරයින් ඒ සියලු වචන, ඔහු උදෙසා ෂෙකෙම්හි නායකයින්ට කී කල, අබිමෙලෙක් අනුගමන කිරීමට ඔවුන්ගේ හදවත් නැඹුරු විය. මන්ද ඔවුහු, “ඔහු අපේ සහෝදරයා” යි කීවෝ ය. 4ඔවුහු, බාල්-බෙරීත්ගේ දෙවොලෙන් රිදී ෂෙකෙල් හැත්තෑවක් ඔහුට දුන්හ. අබිමෙලෙක් ඒ මුදලින් කමකට නැති මැර පිරිසක් කුලියට ගත්තේ ය. ඔවුහු ඔහුගේ සහචරයින් වූහ. 5ඔහු එතැනින් ඔෆ්රාහි පිහිටි තම පියාගේ නිවසට ගොස්, යෙරුබ්බාල්ගේ පුතුන් වූ තම සහෝදරයින් හැත්තෑදෙනා, එක ගලක් පිට මරා දැමී ය. එහෙත් යෝතාම්, යෙරුබ්බාල්ගේ බාල පුතා, සැඟවී, බේරුණේ ය. 6ඉන්පසු ෂෙකෙම්හි සියලු නායකයෝ ද බෙත්-මිල්ලෝ සැවොම ද ෂෙකෙම්හි ආලෝන් වෘක්ෂ-කුලුන ළඟට එක් රැස් වී, අබිමෙලෙක් රජකමට පත් කර ගත්හ.
7ඒ වග, යෝතාම්ට පවසනු ලැබූ කල, ඔහු ගෙරිසීම් කඳු මුඳුනට නැග, ඒ මත සිට උස් හඬ නගා, “ෂෙකෙම්හි නායකයිනි, දෙවියන්වහන්සේ ඔබට සවන් දෙන පිණිස, දැන් මට සවන් දෙන්න! 8එක් කලෙක ගස් තමන්ට රජකු අභිෂේක කර ගන්නට පිටත් ව ගොස්, ඔලීව ගස අමතා, ‘අපගේ රජු වන්නැ’ යි ඉල්ලී ය.
9“එහෙත්, ඔලීව ගස ඒවාට පිළිතුරු දෙමින්, ‘දෙවියන්වහන්සේ ද මිනිසුන් ද ගෞරව කරන මගේ සරු තෙල් සැපයීම පසෙක ලා, මා ගස් අතරේ ආධිපත්‍යයට යෑම යුතු දැ?’ යි කී ය.
10“ගස්, ඊළඟට අත්තික්කා ගස අමතා, ‘එන්න; ඔබ අපේ රජවන්නැ’ යි කීහ.
11“එහෙත් අත්තික්කා ගස ඒවාට පිළිතුරු දෙමින්: ‘ඒ සා යස, මගේ රස පල අතැර, ගස් අතරේ ආධිපත්‍යය පෑමට යෑම මට යුතු ද?’ යි කී ය.
12“ඉන්පසු ගස්, මිදි වැල අමතමින්, ‘එන්න; ඔබ ඇවිත් අපේ රජු වන්නැ’ යි කීහ.
13“එහෙත් මිදි වැල ඒවාට පිළිතුරු දෙමින්, ‘දෙවියන්වහන්සේ ද මිනිසුන් ද කුල්මත් කරවන මගේ මිදි රස අතැර, මා ගස් අතරේ ආධිපත්‍යය පෑමට යෑම යුතු දැ?’ යි කී ය.
14“අන්තිමේදී සියලු ගස් කටු ගසට කතා කොට, ‘ඔබ ඇවිත් අපගේ රජවන්නැ’ යි කීහ.
15“එවිට, ගස්වලට කතා කළ කටු ගස, ‘නුඹලාගේ රජු වශයෙන් මා අභිෂේක කර ගැනීම සැබවින් ම නුඹලාට වුවමනා නම්, මගේ සෙවණේ රැකවරණ ලබනු! එසේ නො වුවහොත්, කටු ගසින් ගිනි නික්ම ලෙබනොන්හි දේවදාර දවා දැමේවා’ යි කී ය.
16“එබැවින් දැන්, අබිමෙලෙක්, රජු බවට පත් කර ගැනීමේදී ඔබ ක්‍රියා කළේ සෘජු ව හා අවංක ව නම්, යෙරුබ්බාල්ට හා ඔහුගේ පවුලට ඔබ යුක්ති සහගත වී නම්, යුතු පරිද්දෙන් ඔබ ඔහුට සැලකුවේ නම්! 17මන්ද, මගේ පියා සටන් කළේ නුඹලා උදෙසා ය. මිදියන්වරුන් අතින් නුඹලා මුදා ගන්නට ඔහු තම ජීවිතය පරදුවට තැබී ය. 18එහෙත් නුඹලා අද මගේ පියාගේ පවුලට විරුද්ධ ව නැගිට, ඔහුගේ පුතුන් හැත්තෑදෙනා එක ගලක් පිට මරා, ඔහුගේ දාසියගේ පුත් අබිමෙලෙක් ඔබේ සහෝදරයා වූ නිසා, ෂෙකෙම් පුරවාසීන්ගේ රජකමට පත් කර ගෙන ඇත. 19එබැවින්, නුඹලා යෙරුබ්බාල්ටත්, ඔහුගේ පවුලටත් අද දවසේ සෘජු ව හා අවංක ව සැලකුවේ නම්, අබිමෙලෙක් තුළ ප්‍රීති වෙයල්ලා. ඔහු ද නුඹලා තුළ ප්‍රීති වුණා වේ! 20එහෙත් ඒ එසේ නො වී නම්, අබිමෙලෙක් වෙතින් ගිනි නික්ම, ෂෙකෙම් නායකයින් හා බෙත්-මිල්ලෝ දවා දැමේවා! තවද ෂෙකෙම් නායකයින් හා බෙත්-මිල්ලෝ වෙතින් ගිනි නික්ම, අබිමෙලෙක් දවා දැමේවා!” යි කීවේ ය.
21යෝතාම් ඉන්පසු සැඟවී, පලා ගියේ ය. ඔහු තම සහෝදර අබිමෙලෙක්ට භය වූ බැවින් බෙයේර් වෙත ගොස්, එහි විසී ය.
22අබිමෙලෙක් තුන් වසරක් ඉශ්රායෙල් පාලනය කළේ ය. 23එහෙත් දෙවියන්වහන්සේ අබිමෙලෙක් හා ෂෙකෙම් නායකයින් අතරට දුෂ්ට ආත්මයක් යැවූ සේක. ෂෙකෙම් වාසීහු අබිමෙලෙක්ට ද්‍රෝහිකම් කළහ. 24මෙසේ වූයේ යෙරුබ්බාල්ගේ පුතුන් හැත්තෑ දෙනාට කළ සැහැසිකමට පල දීමටත් ඔවුන්ගේ ලේ ඔවුන්ගේ සහෝදර අබිමෙලෙක්ට පල දීමටත්, ඒ සහෝදරයින් මරා දැමීමට ඔහුට සහය දුන් ෂෙකෙම් පුරවාසීන්ට විපාක දීමටත් ය. 25ෂෙකෙම් නායකයෝ ඔහුට එදිරි ව කඳු මුදුන්වල මිනිසුන් රැක සිටවූහ. ඔවුහු එමඟින් ආ-ගිය සියල්ලන් කොල්ල කෑහ. අබිමෙලෙක්ට ඒ වග දන්වනු ලැබිණ.
26මේ අතර එබෙද්ගේ පුත් ගාල්, තම නෑසියන් සමඟ ෂෙකෙම් වෙත ආවේ ය. ෂෙකෙම් පුර නායකයෝ ඔහු පිට විශ්වාසය තැබූහ. 27ඔවුහු කෙත්-වත්වලට ගොස්, තම මිදි වතුවලින් මිදි එක් රැස් කොට, මිදි මැඩ, උත්සව පැවැත් වූහ. ඔවුහු තම දෙවියන්ගේ දෙවොලට ගොස්, කමින් ද බොමින් ද අබිමෙලෙක්ට අපහාස කළහ. 28එබෙද්ගේ පුත් ගාල් කතා කරමින්, “අබිමෙලෙක් කවරෙක් ද? ෂෙකෙම් අප කවුරු ද? ඇයි අප ඔහුට සේවය කළ යුත්තේ? ඔහු යෙරුබ්බාල්ගේ පුතා නො වේ ද? සෙබුල් ඔහුගේ අනුචරයා නො වේ ද? ෂෙකෙම්ගේ පියා වූ හාමොර්ට සේවය කරන්න. අප අබිමෙලෙක්ට සේවය කළ යුත්තේ කුමට ද? 29මේ ජනයා මගේ අණසක යටතේ වේ නම්, මම අබිමෙලෙක් පහ කර දමන්නෙමි. මම අබිමෙලෙක්ට හඬ ගසා, ‘නුඹේ සේනාව වැඩි කර ගෙන ඉදිරියට එනුයි’ කියන්නෙමි” යි කීවේ ය.
30එබෙද්ගේ පුත් ගාල් කී වචන ඇසූ එපුර පාලක සෙබුල් කෝපයෙන් ඇවිළිණි. 31ඔහු අබිමෙලෙක් වෙත රහසේ පණිවුඩකරුවන් යවමින්, “අන්න! එබෙද්ගේ පුත් ගාල් හා ඔහුගේ නෑදෑයෝ ෂෙකෙම් වෙත අවුත්, ඔබට විරුද්ධ ව නගරය කලඹවති. 32එබැවින් දැන් ඔබත්, ඔබේ මිනිසුනුත් මේ රැයේ ම අවුත්, බැද්දේ රහසේ රැක සිටිය යුතු ය. 33අලුයම් උදයේ හිරු නැගෙන විගස නැගිට, නගරයට කඩා වදින්න. එවිට ඔහු සහ ඔහුගේ මිනිසුන් ඔබට එරෙහිව නැගී එන කල, ඔබට හැකි විදියට ඔවුන්ට කරන්නැ” යි දන්වා යැවී ය.
34එබැවින් අබිමෙලෙක් ද ඔහු සමඟ වූ මුළු සේනාව ද ඒ රැයේ ම නැගිට, කණ්ඩායම් හතරකින් යුතු ව, ෂෙකෙම්ට එරෙහිව රහසේ රැක සිටියහ. 35එබෙද්ගේ පුත් ගාල් පිටතට ගොස්, නගර දොරටු#9:35 නගර දොරටු එනම් නගර දොරටු ප්‍රජා පොළ පිවිසුමෙහි සිටගෙන සිටියදී, අබිමෙලෙක් ද ඔහුගේ සෙබළු ද සැඟවුණු තැන්වලින් පිටතට ආහ.
36ගාල් ඔවුන් දුටු කල සෙබුල්ට කතා කොට, “අන්න, කඳු මුඳුන්වල සිට ජනයා පහළ බසිනවා” යි කීවේ ය.
සෙබුල් පිළිතුරු දෙමින්, “මිනිසුන් ලෙස ඔබට පෙනෙන්නේ කඳු සෙවණැලි” යි කීවේ ය.
37එහෙත්, ගාල් යළි කතා කරමින්, “අන්න! රට මැද#9:37 රට මැද හෙබ්‍රෙව් පොළොවේ නාභිය සිට ජනයා බැස එනවා. පේන කියන්නාගේ ආලෝන් වෘක්ෂය පැත්තෙන් තවත් කණ්ඩායමක් එනවා” යි කීවේ ය.
38එවිට, සෙබුල් කතා කරමින්, “ ‘අබිමෙලෙක්ට අප සේවය කරන්නට ඔහු කවරෙක් දැ’ කී ඔබේ මහ ලොකු කතාව දැන් කෝ? ඔබ නිග්‍රහ කළ මිනිසුන් නො වේ ද මේ? දැන් පිටතට ගොස්, ඔවුන් සමඟ සටන් වදින්නැ” යි කීවේ ය.
39එවිට ගාල්, ෂෙකෙම් පුර නායකයින්ට පෙරටුවෙන් පිටතට ගොස්, අබිමෙලෙක් හා සටන් වැදුණේ ය. 40අබිමෙලෙක් ඔහු පලවා හැරියේ ය. ඔහු පලා ගියේ ය. බොහෝ දෙනෙක් දොරටු පිවිසුම දක්වා ම තුවාල ලැබ, වැටුණහ. 41අබිමෙලෙක් අරූමාහි නතර විය. සෙබුල් විසින් ගාල් සහ ඔහුගේ නෑයින් ෂෙකෙම්වලින් පිටතට පන්නා දමන ලදී.
42ෂෙකෙම් ජනයා ඊළඟ දවසේ කෙත් වතුවලට පිටතට ගියහ. ඒ වග අබිමෙලෙක්ට දන්වන ලදී. 43එවිට ඔහු තම සෙබළුන් කැඳවා, කණ්ඩායම් තුනකට බෙදා, සැඟවී, රැක සිටියේ ය. ජනයා නගරයෙන් පිටතට එනු බලා ඔහු, ඔවුන්ට එරෙහිව නැගිට, ඔවුන් මරා දැම්මේ ය. 44අබිමෙලෙක් හා ඔහු සමඟ වූ කණ්ඩායම් ඉදිරියට කඩා වැද, නගර දොරටුව අවුරා සිටගත්හ. සෙසු කණ්ඩායම් දෙක කෙත්වත් වෙත ගියවුන් පිට කඩා වැදී, ඔවුන් මරා දැමූහ. 45ඒ දවස මුළුල්ලේ අබිමෙලෙක් නගරයට එරෙහිව පහර දී, එය අල්ලාගෙන, එහි ජනයා මරා දැමී ය. ඉන්පසු නගරය බිඳ හෙළා, ඒ මත ලුණු විසිරවී ය.
46ෂෙකෙම් බළකොටු නායකයින්ට එය සැල වූ කල, ඔවුහු ඒල්-බෙරීත්ගේ දෙවොලෙහි ආරක්ෂක කොටුවට#9:46 ආරක්ෂක කොටුවට එනම් පොළෝ මට්ටමින් පහත ඇති බංකරයක් වැනි ස්ථානයක් විය හැක වැදුණහ. 47ෂෙකෙම් බළකොටුවාසී නායක සියල්ලන් එහි එක් රැස් වූ වග අබිමෙලෙක්ට සැල කරන ලදී. 48එවිට, අබිමෙලෙක් ද ඔහු සමඟ වූ සෙබළ සියල්ලෝ ද සල්මොන් කන්දට නැගුණෝ ය. අබිමෙලෙක් පොරොවක් අතින් ගෙන, වන ලැහැබින් අතු මිටියක් කපා, එය කර තබා ගත්තේ ය. “මා කළ දේ ඔබ දුටු පරිදි, හනික මා කළ දේ ම කරන්නැ” යි ඔහු තමා සමඟ සිටියවුනට කීවේ ය. 49එපරිදි ඒ හැම කෙනෙක් ම අතු මිටියක් කපාගෙන, අබිමෙලෙක් පසු පස ගියහ. ආරක්ෂක කොටුව අබියස ඒවා ගොඩ ගැසූ ඔවුහු, මිනිසුන් ඒ තුළ සිටියදී ම ඊට ගිනි තැබූහ. එබැවින් ෂෙකෙම් බළකොටුවේ වූ සියල්ලෝ පුරුෂයින් හා ස්ත්‍රීන් දහසක් පමණ දෙනා මළහ.
50ඉන්පසු අබිමෙලෙක් තේබේස් බලා ගොස්, තේබේස් වටලා, එය අල්ලා ගත්තේ ය. 51එසේ වුව ද නගර මධ්‍යයේ ශක්තිමත් බළකොටුවක් විය. එබැවින් පුරුෂයින්, ස්ත්‍රීන් හා නායක යන නගර වාසී සියල්ලෝ එහි පැන ගත්හ. ඇතුළතින් එය වසා ගත් ඔවුහු කොටු පියස්සට නැගුණහ. 52අබිමෙලෙක් කොටුවට ළඟා වී, ඊට පහර දුන්නේ ය. එහෙත්, ගිනිලනු පිණිස ඔහු කොටු දොරටුවට ළඟා වෙත් ම, 53ස්ත්‍රියක්, ඇඹරුම් ගලක අත්ගල, අබිමෙලෙක්ගේ හිස මත හෙළා, ඔහුගේ හිස්කබල බින්දා ය.
54වහා, තම ආයුධ දරන තරුණයාට හඬ ගැසූ ඔහු, “නුඹේ කඩුව ඇද මා මරනු! එවිට, ‘ස්ත්‍රියක් ඔහු මැරී ය’ යි ඔවුන් කියනු නැතැ” යි කීවේ ය. එවිට එම තරුණයා ඔහුට ඇන්නේ ය. ඔහු මළේ ය. 55අබිමෙලෙක් මළ වග දුටු ඉශ්රායෙල්වරු තම තමන්ගේ ගෙවලට ගියහ.
56තම සහෝදරයින් හැත්තෑදෙනා මරා දැමීමෙන් අබිමෙලෙක් තම පියාට කළ දුෂ්ටකමට දෙවියන්වහන්සේ මෙසේ ඔහුට ප්‍රතිවිපාක දුන් සේක. 57ෂෙකෙම්හි ජනයාට ද ඔවුන්ගේ දුෂ්ටකම් ඔවුන්ගේ ම හිස පිටට පහත් වන්නට දෙවියන්වහන්සේ සැලසූ සේක. යෙරුබ්බාල්ගේ පුත් යෝතාම්ගේ ශාපය ඔවුන් පිට පතිත විණ.
දැනට තෝරාගෙන ඇත:
විනිසුරුවෝ 9: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.