යෙරුබ්බාල්ගේ පුත් අබිමෙලෙක්, තම මවගේ සහෝදරයින් වෙත ෂෙකෙම්ට ගොස්, ඔවුන්ට ද තම මවගේ පියවංශික මුළු පෙළපතට ද කතා කරමින්, “ෂෙකෙම්හි සියලු නායකයින් අසා සිටියදී මෙසේ කියන්න: ‘නුඹලාට වඩා හොඳ කොයි එක ද? යෙරුබ්බාල්ගේ පුතුන් හැත්තෑදෙනා ඔබේ පාලකයින් වෙනවාට ද? නැතහොත් එක් කෙනකු පමණක් ඔබ පාලනය කරනවාට ද?’ මතක තබා ගන්න, මා ඔබේ ම ඇට හා ඔබේ මාංසය යැ” යි කීවේ ය.
ඔහුගේ මවගේ සහෝදරයින් ඒ සියලු වචන, ඔහු උදෙසා ෂෙකෙම්හි නායකයින්ට කී කල, අබිමෙලෙක් අනුගමන කිරීමට ඔවුන්ගේ හදවත් නැඹුරු විය. මන්ද ඔවුහු, “ඔහු අපේ සහෝදරයා” යි කීවෝ ය. ඔවුහු, බාල්-බෙරීත්ගේ දෙවොලෙන් රිදී ෂෙකෙල් හැත්තෑවක් ඔහුට දුන්හ. අබිමෙලෙක් ඒ මුදලින් කමකට නැති මැර පිරිසක් කුලියට ගත්තේ ය. ඔවුහු ඔහුගේ සහචරයින් වූහ. ඔහු එතැනින් ඔෆ්‍රාහි පිහිටි තම පියාගේ නිවසට ගොස්, යෙරුබ්බාල්ගේ පුතුන් වූ තම සහෝදරයින් හැත්තෑදෙනා, එක ගලක් පිට මරා දැමී ය. එහෙත් යෝතාම්, යෙරුබ්බාල්ගේ බාල පුතා, සැඟවී, බේරුණේ ය. ඉන්පසු ෂෙකෙම්හි සියලු නායකයෝ ද බෙත්-මිල්ලෝ සැවොම ද ෂෙකෙම්හි ආලෝන් වෘක්ෂ-කුලුන ළඟට එක් රැස් වී, අබිමෙලෙක් රජකමට පත් කර ගත්හ.
ඒ වග, යෝතාම්ට පවසනු ලැබූ කල, ඔහු ගෙරිසීම් කඳු මුඳුනට නැග, ඒ මත සිට උස් හඬ නගා, “ෂෙකෙම්හි නායකයිනි, දෙවියන්වහන්සේ ඔබට සවන් දෙන පිණිස, දැන් මට සවන් දෙන්න! එක් කලෙක ගස් තමන්ට රජකු අභිෂේක කර ගන්නට පිටත් ව ගොස්, ඔලීව ගස අමතා, ‘අපගේ රජු වන්නැ’ යි ඉල්ලී ය.
“එහෙත්, ඔලීව ගස ඒවාට පිළිතුරු දෙමින්, ‘දෙවියන්වහන්සේ ද මිනිසුන් ද ගෞරව කරන මගේ සරු තෙල් සැපයීම පසෙක ලා, මා ගස් අතරේ ආධිපත්‍යයට යෑම යුතු දැ?’ යි කී ය.
“ගස්, ඊළඟට අත්තික්කා ගස අමතා, ‘එන්න; ඔබ අපේ රජවන්නැ’ යි කීහ.
“එහෙත් අත්තික්කා ගස ඒවාට පිළිතුරු දෙමින්: ‘ඒ සා යස, මගේ රස පල අතැර, ගස් අතරේ ආධිපත්‍යය පෑමට යෑම මට යුතු ද?’ යි කී ය.
“ඉන්පසු ගස්, මිදි වැල අමතමින්, ‘එන්න; ඔබ ඇවිත් අපේ රජු වන්නැ’ යි කීහ.
“එහෙත් මිදි වැල ඒවාට පිළිතුරු දෙමින්, ‘දෙවියන්වහන්සේ ද මිනිසුන් ද කුල්මත් කරවන මගේ මිදි රස අතැර, මා ගස් අතරේ ආධිපත්‍යය පෑමට යෑම යුතු දැ?’ යි කී ය.
“අන්තිමේදී සියලු ගස් කටු ගසට කතා කොට, ‘ඔබ ඇවිත් අපගේ රජවන්නැ’ යි කීහ.
“එවිට, ගස්වලට කතා කළ කටු ගස, ‘නුඹලාගේ රජු වශයෙන් මා අභිෂේක කර ගැනීම සැබවින් ම නුඹලාට වුවමනා නම්, මගේ සෙවණේ රැකවරණ ලබනු! එසේ නො වුවහොත්, කටු ගසින් ගිනි නික්ම ලෙබනොන්හි දේවදාර දවා දැමේවා’ යි කී ය.
“එබැවින් දැන්, අබිමෙලෙක්, රජු බවට පත් කර ගැනීමේදී ඔබ ක්‍රියා කළේ සෘජු ව හා අවංක ව නම්, යෙරුබ්බාල්ට හා ඔහුගේ පවුලට ඔබ යුක්ති සහගත වී නම්, යුතු පරිද්දෙන් ඔබ ඔහුට සැලකුවේ නම්! මන්ද, මගේ පියා සටන් කළේ නුඹලා උදෙසා ය. මිදියන්වරුන් අතින් නුඹලා මුදා ගන්නට ඔහු තම ජීවිතය පරදුවට තැබී ය. එහෙත් නුඹලා අද මගේ පියාගේ පවුලට විරුද්ධ ව නැගිට, ඔහුගේ පුතුන් හැත්තෑදෙනා එක ගලක් පිට මරා, ඔහුගේ දාසියගේ පුත් අබිමෙලෙක් ඔබේ සහෝදරයා වූ නිසා, ෂෙකෙම් පුරවාසීන්ගේ රජකමට පත් කර ගෙන ඇත. එබැවින්, නුඹලා යෙරුබ්බාල්ටත්, ඔහුගේ පවුලටත් අද දවසේ සෘජු ව හා අවංක ව සැලකුවේ නම්, අබිමෙලෙක් තුළ ප්‍රීති වෙයල්ලා. ඔහු ද නුඹලා තුළ ප්‍රීති වුණා වේ! එහෙත් ඒ එසේ නො වී නම්, අබිමෙලෙක් වෙතින් ගිනි නික්ම, ෂෙකෙම් නායකයින් හා බෙත්-මිල්ලෝ දවා දැමේවා! තවද ෂෙකෙම් නායකයින් හා බෙත්-මිල්ලෝ වෙතින් ගිනි නික්ම, අබිමෙලෙක් දවා දැමේවා!” යි කීවේ ය.
යෝතාම් ඉන්පසු සැඟවී, පලා ගියේ ය. ඔහු තම සහෝදර අබිමෙලෙක්ට භය වූ බැවින් බෙයේර් වෙත ගොස්, එහි විසී ය.