විනිසුරුවෝ 4:18-24
විනිසුරුවෝ 4:18-24 SCV
යායෙල්, සීසෙරා හමුවට පිටතට ගොස්, “ඇතුළට එනු මැනව මා ස්වාමිනි, මා වෙත එනු මැනව. භය නො වන්නැ” යි කීවා ය. එබැවින් සීසෙරා ඇය වෙත හැරී, කූඩාරම තුළට පිවිසියේ ය. ඈ පලසකින් ඔහු වැසුවා ය. ඔහු ඇය අමතමින්, “මට පිපාසයි; කරුණාකර වතුර ඩිංගක් දෙන්නැ” යි ඉල්ලී ය. ඈ, කිරි බඳුනක් ඇර, එයින් ඔහුට බොන්නට දී, යළි ඔහු ආවරණ කළා ය. ඔහු ඇය අමතමින්, “කූඩාරම් දොරකඩ සිටගන්න. යමකු අවුත්, ‘කවුරු හෝ මෙහි සිටිත් දැ?’ යි ඇසුවහොත් ‘නැත’ කියා කියන්නැ” යි කී ය. එහෙත්, හෙබෙර්ගේ බිරිඳ වූ යායෙල්, කූඩාරම් කූංඤයක් ද මිටියක් ද අතින් ගෙන, හීන් සීරුවේ ඔහු අසලට ගියා ය. දැඩි වෙහෙසට පත් ව සිටි ඔහු, තද නින්දට වැටී සිටියේ ය. ඈ, කූංඤය ඔහුගේ නළල් කෙළවර පසාරු කර ගෙන, පොළොවට වැදී යන සේ ගැසුවා ය. ඔහු මළේ ය. මේ අතර මෙන්න! බාරාක්, සීසෙරා ලුහුබැඳ එමින් සිටියදී ඔහු හමුවට පිටතට ගිය යායෙල්, ඔහු අමතමින්, “එන්න! ඔබ සොයා යන මිනිසා මම ඔබට පෙන්වන්නම්” යි කීවා ය. එබැවින් ඔහු ඇය සමඟ කූඩාරම තුළට ගියේ ය. නළලේ වූ කූඩාරම් කූංඤය සහිත ව සීසෙරා එතුළ මැරී, වැතිර සිටියේ ය. ඒ දවසේ දෙවියන්වහන්සේ, කානාන්හි රජු වූ යාබීන් ඉශ්රායෙල්වරුන් ඉදිරියේ යටත් කළ සේක. කානාන්හි රජු වූ යාබීන් විනාශ කර දමන තෙක් ම, ඉශ්රායෙල්වරුන්ගේ හස්තය ඔහුට එරෙහිව වඩ වඩා බලයෙන් වැඩුණේ ය.

