එවිට යූදා ජනයා තම සහෝදර සිමියොන් ජනයාට කතා කොට, “කානානිවරුන්ට එරෙහිව අප හා සමඟ සටන් කරන පිණිස, අපට වෙන් කර ඇති පළාතට අප සමඟ එන්න. පසුව අපත් ඔබ සමඟ ඔබට වෙන් වූ පළාතට යන්නෙමු” යි කීහ. එබැවින් සිමියොන් ජනයා ඔවුන් සමඟ ගියහ.
එසේ යූදා ජනයා ගියහ. ස්වාමින්වහන්සේ කානානිවරුන් හා පෙරිස්සිවරුන් ඔවුන්ට යටත් කර දුන් සේක. ඔවුහු බෙසෙක්හි දී ඔවුන් දස දහසක් පරාජය කළහ. බෙසෙක්හි දී අදොනී-බෙසෙක් ඔවුන්ට හමු විය. එහිදී ඔහුට එරෙහිව සටන් වැදුණු ඔවුහු කානානිවරුන් හා පෙරිස්සිවරුන් පරාජය කළහ. අදොනී-බෙසෙක් පලා ගියේ ය. එහෙත්, ඔහු ලුහුබැඳ ගිය ඔවුහු ඔහු අල්ලා, ඔහුගේ අත් පාහි මහපටැඟිලි කපා දැමූහ.
එවිට අදොනී-බෙසෙක් කතා කොට, “අත් පාහි මහපටැඟිලි කපා දමන ලද රජවරු හැත්තෑ දෙනෙක්, මගේ මේසය යටට වැටෙන ඉතිරි කැබලි අහුලා ගන්නට පුරුදු වී සිටියහ. මා කළ පරිදි දෙවියන්වහන්සේ දැන් මට කළ සේකැ” යි කීවේ ය. ඔවුහු යෙරුසලමට ඔහු ගෙන ආහ. එහිදී ඔහු මළේ ය.
ඉන්පසු යූදා පුත්‍රයෝ යෙරුසලමට එරෙහිව සටන් කොට, එය අල්ලා ගත්හ. ඔවුහු කඩු මුවහතින් ඊට පහර දී, පුරවරය ගිනිලූහ.
ඉන් අනතුරුව යූදා ජනයා කඳුකරයෙහි ද නෙගෙබ්හි ද බටහිර කඳු බෑවුමෙහි ද වෙසෙන කානානිවරුන්ට එරෙහිව සටනට පිටත් ව ගියහ. ඔවුහු හෙබ්‍රොන්හි විසූ කානානිවරුන්ට එරෙහිව ගියහ. (කලින්, හෙබ්‍රොන් හැඳින්වූයේ කිර්යත්-අර්බා නමිනි.) ඔවුහු ෂේෂයි, අහීමන් හා තල්මයි පරාජය කළහ. ඔවුහු එතැනින් දෙබීර් වැසියනට එරෙහිව ගියහ. කලින් දෙබීර් හැඳින්වූයේ කිරියත්-සේෆෙර් නමිනි.
කාලෙබ් කතා කොට, “කිරියත්-සේෆෙර්ට පහර දී, එය අල්ලා ගන්නේ කවරෙක් ද ඔහුට මගේ දූ අක්සා, බිරිඳ වශයෙන් දෙන්නෙමි” යි පැවසී ය. කාලෙබ්ගේ බාල සහෝදර කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලා ගත්තේ ය. එබැවින් ඔහු තම දූ අක්සා ඔහුට බිරිඳ කොට දුන්නේ ය.
ඈ ඔහු වෙත ආ කල, ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන ලෙස ඔහුට බල කළා ය. ඇය තම බූරුවා පිටින් බැස්ස කල, කාලෙබ්, “මොනවද ඔබට ඕනෑ?” යි ඇසී ය.
ඈ ඔහුට පිළිතුරු දෙමින්, “මට වරයක් දෙන්න. ඔබ මට නෙගෙබ් දේශය දී තිබෙන බැවින් ජල උල්පතුත් දෙන්නැ” යි කීවා ය. එබැවින් කාලෙබ් ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඇයට දුන්නේ ය.
මෝසෙස්ගේ මාමණ්ඩිය වූ කේනීයයාගෙන් පැවත එන්නෝ ඉඳි ගස් පුර සිට යූදා ජනයා සමඟ යූදා කාන්තාරයට ගියහ. එය පිහිටියේ අරාද් අසල නෙගෙබ්හි ය. ඔහු එහි ගොස්, ජනයා අතර එහි පදිංචි වූහ.
ඉන්පසු යූදා ජනයා තම සහෝදර සිමියොන් ජනයා සමඟ ගොස්, සෙෆත්හි විසූ කානානිවරුන්ට පහර දී, එය විනාශයට කැප කළහ. එබැවින්, එම පුරවරය හොර්මා නමින් හැඳින් වේ. යූදා, ගාසා හා එහි භූමි ප්‍රදේශය ද අෂ්කෙලොන් හා එහි භූමි ප්‍රදේශය ද එක්‍රෝන් හා එහි භූමි ප්‍රදේශය ද අල්ලා ගත්හ.
ස්වාමින්වහන්සේ යූදා ජනයා සමඟ වූ සේක. ඔවුහු කඳුකරය අත්පත් කර ගත්හ. එහෙත්, මිටියාවතේ ජනයා පන්නා දැමීමට ඔවුහු අපොහොසත් වූහ. මන්ද ඔවුන් සතු ව යකඩ යුද්ධ රථ තිබූ බැවිනි. මෝසෙස් පවසා තිබූ පරිදි හෙබ්‍රොන්, කාලෙබ්ට දෙන ලදී. ඔහු අනාක්ගේ පුතුන් තිදෙනා එතැනින් පන්නා දැමී ය. එහෙත් බෙන්යමින් ජනයා යෙරුසලමෙහි විසූ යෙබූසිවරුන් පන්නා දැමුවේ නැත. එබැවින් යෙබූසිවරු මේ දක්වාත් බෙන්යමින් ජනයා සමඟ යෙරුසලමෙහි වෙසෙති.
යෝසෙප් වංශිකයෝ ද බෙතෙල්ට එරෙහිව ගියහ. ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ වූ සේක. යෝසෙප් වංශිකයෝ ඔත්තු බලන පිණිස බෙතෙල් වෙත මිනිසුන් යැවූහ. කලින් එපුරවරයේ නාමය වූයේ ලූස් ය. නගරයෙන් පිටතට මිනිසකු එනු දුටු ඔත්තුකරුවෝ, ඔහුට කතා කොට, “නගරයට ඇතුළු වන හැටි අපට පෙන්වන්න. අපිත් ඔබට කරුණාව දක්වන්නෙමු” යි කීහ. ඔහු ඔවුන්ට නගරය තුළට මං පෙන්වී ය. ඔවුහු එහි වැද, නගරය ම කඩු ගෑ නමුදු, ඒ මිනිසාත්, ඔහුගේ මුළු පවුලත් යන්නට හැරියහ. ඒ මිනිසා හිත්තිවරුන්ගේ දේශයට ගොස්, නුවරක් ගොඩ නගා, ඊට ලූස් යැයි නම් තැබී ය. මේ දක්වාත් එහි නම එය ම ය.
එහෙත්, මනස්සේ ජනයා බෙත්-ෂෙයාන් සහ එහි ගම්මානවල ද තානක් සහ එහි ගම්මානවල ද පදිංචිකරුවන් හෝ දෝර් සහ එහි ගම්මානවල පදිංචිකරුවන් හෝ ඉබ්ලෙයාම් සහ එහි ගම්මානවල පදිංචිකරුවන් හෝ මෙගිද්දෝ සහ එහි ගම්මානවල පදිංචිකරුවන් හෝ පලවා හැරියේ නැත. එබැවින් කානානිවරු දිගට ම දේශයෙහි වාසය කරන්නට අදිටන් කර ගෙන සිටියහ. ඉශ්‍රායෙල් වඩා බලවත් වූ කල, ඔවුහු කානානිවරුන් බර වැඩෙහි යෙදවූහ. එහෙත් සහමුලින් ම ඔවුන් පන්නා දැමුවේ නැත. එප්‍රායිම් ද ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා දැමුවේ නැත. එබැවින් කානානිවරු ඔවුන් සමඟ ගෙසෙර්හි වාසය කළහ. සාබුලොන් ද කිට්රොන්හි වාසය කළවුන් හා නහලොල්හි වාසය කළවුන් පලවා හැරියේ නැත. එබැවින් කානානිවරු ඔවුන් අතරෙහි වෙසෙමින්, බර වැඩට යටත් වූහ. ආෂෙර් ද අක්කෝ වාසීන් හෝ සීදොන් වාසීන් හෝ අහ්ලාබ් වාසීන් හෝ අක්සීබ් හෝ හෙල්බා හෝ අෆේක් හෝ රෙහොබ් වාසීන් පන්නා දැමුවේ නැත. එබැවින් ආෂෙර් ජනයා දේශ වාසීන් වූ කානානිවරුන් අතරෙහි ම වාසය කළහ. මන්ද ඔවුහු ඔවුන් පන්නා දැමුවේ නැති බැවිනි. නෆ්තලී ද බෙත්-ෂෙමෙෂ් වාසීන් හෝ බෙත්-අනාත් වාසීන් හෝ පලවා හැරියේ නැත. ඔවුහු දේශ වාසීන් වූ කානානිවරුන් අතරෙහි ම පදිංචි වූහ. කෙසේ වෙතත් බෙත්-ෂෙමෙෂ් හා බෙත්-අනාත් වාසීහු ඔවුන්ගේ බර වැඩට උර දුන්හ. අමෝරිවරු, දාන් ජනතාව කඳුරටට සීමා කොට, ඉන් ඔබ්බට පහළ නිම්නයට ඒමට ඔවුනට ඉඩ නො දුන්හ. අමෝරිවරු හෙරෙස් කන්ද ද අයියාලොන් හා ෂාල්බීම් ද යන පෙදෙස්හි වසන්නට ම අදිටන් කර ගෙන සිටි නමුදු, යෝසෙප් වංශිකයින්ගේ බලය වැඩි වූ කල්හි බර වැඩට ඔවුහු යටත් කරනු ලැබූහ. අමෝරිවරුන්ගේ දේශ සීමා වූයේ ගෝනුසු මංකඩ නැග්ම සිට සෙලා හා ඉන් ඔබ්බට ය.