යාකොබ් 3
3
දිව දමනය
1මා සහෝදරයිනි, ඔබගෙන් බොහෝ දෙනෙක් ගුරුවරුන් නො විය යුතු ය. මන්ද ඔබ දන්නා පරිදි ගුරුවරුන් වන අප වඩා දැඩි ලෙස විනිශ්චය කරනු ලබනු ඇත. 2මන්ද අප සැවොම නොයෙක් අයුරින් පැකිළෙන්නෙමු. යමෙක් තමා කතා කරන වචනයෙන් නො පැකිළේ නම්, ඔහු තමන්ගේ මුළු සිරුර ම මැඩපවත්වා ගැනීමට සමත් පිරිපුන් මිනිසෙකි.
3අශ්වයින් අපට අවනත කර ගැනීමට උන්ට කටකලියා දැමූ කල, මුළුමනින් උන් පාලනය කිරීමට අපට හැකි වෙයි. 4නැව් දිහා බලන්න; ඒවා කෙතරම් විශාල වුවත්, සැඩ සුළඟකින් ගසා ගෙන යතත්, කුඩා සුක්කානමක් මගින් නැව්පතියා රිසි ඕනෑ ම දිසාවකට හරවා පැදවිය හැකි ය. 5එසේ ම දිව කුඩා අවයවයකි. එහෙත් එය මහා පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොතරම් මහා වනයක් ගිනි අවුළා ද? 6දිව ගින්නකි. අධර්මිෂ්ඨකමේ ලෝකයකි. දිව අපේ අවයව අතර පිහිටා සිටිමින්, මුළු සිරුරේ ම ලප-පැල්ලම් ඇති කොට, මුළු මහත් ජීවිතයට ම ගිනි තබයි; එය ගිනි අවුළුවා ගන්නේ නිරයෙන් ම ය.
7සෑම වර්ගයක මෘගයකු, පක්ෂියකු, උරගයකු හා මුහුදු සත්වයකු දමනය කරන්ට මිනිසාට පුළුවන; දමනය කරනු ලැබ ඇත. 8එහෙත් දිව දමනය කරන්නට හැකි මිනිසකු නැත. එය මරණීය විසෙන් පිරුණු කලබලකාරී නපුරකි.
9එයින් අපේ ස්වාමින්වහන්සේ හා පියාණන්වහන්සේට ප්‍රශංසා කරන අපි, එයින් ම දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් මවනු ලැබූ මිනිසාට ශාප කරන්නෙමු. 10එක ම මුවින් ප්‍රශංසාවත්, ශාපයත් නික්මෙයි. මා සහෝදරයිනි, මේ නම් නො විය යුත්තකි. 11එක ම උල්පතකින් කරදියත්, මිරිදියත් නික්මේ ද? 12මා සහෝදරයිනි, අත්තික්කා ගසට ඔලීව ගෙඩිවත්, මිදි වැලකට අත්තික්කාවත් හට ගැන්විය හැකි ද? එසේ ම කරදිය උල්පතකින් මිරිදිය නික්මවිය නො හැක.
දෙවැදෑරුම් ප්‍රඥා
13ඔබ අතරේ නැණවතා හා බුද්ධිමතා කවුරු ද? ඔහු ඒ වග ප්‍රඥාවේ මෘදුකමින් තම ක්‍රියා, තම යහපත් පැවැත්මෙන් පෙන්නුම් කරත්වා. 14එහෙත් උග්‍ර ඊර්ෂ්‍යාව ද ආත්මාර්ථ අභිලාෂ ද ඔබේ හදවත්හි ඇත්නම්, පාරට්ටු කර ගැනීමෙන් හා සත්‍යයට පිටුපෑමෙන් වළකින්න. 15එවැනි ප්‍රඥාව ඉහළින් පැමිණි එකක් නො වේ. එය භූමික ය; ලෞකික ය; යක්ෂයාගෙන් ය. 16ඊර්ෂ්‍යාවත්, ආත්මාර්ථ අභිලාෂයත් කොතැන ද අපිළිවෙලත්, සියලු ආකාර අධම ක්‍රියාත් එතැන ම ය.
17එහෙත් ඉහළින් එන ප්‍රඥාව පළමු කොට පවිත්‍ර ය; ඊළඟට සාමකාමී ය; මෘදු ය; විවෘත ය; දයාවෙන් හා යහපත් පලයෙන් පූර්ණ ය; අපක්ෂවාදී ය; අවංක ය. 18ධර්මිෂ්ඨකමේ අස්වැන්න සාමය සලසන්නන් විසින් සාමයෙන් වපුරන ලද්දේ ය.
දැනට තෝරාගෙන ඇත:
යාකොබ් 3: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.