යෙසායා 55

55
සාපිපාසා ඇත්තෙනි
1“එන්න! පිපාසිත හැම කෙනෙක් ම
වතුර වෙත එන්න.
මුදල් නැත්තෙනි, එන්න;
ධාන්‍ය රැගෙන, කන්න. එන්න.
මුදල් නැතිව, ගාස්තුවක් නැතිව,
මිදි යුෂ හා කිරි අරගන්න.
2අහර නො වන දේට ඔබේ මුදල් වියදම් කරන්නේ ඇයි?
සෑහීමක් නො දෙන දේට ඔබේ ශ්‍රමය වැය කරන්නේ ඇයි?
මට හොඳින් සවන් දී, හොඳ දෑ අහරට ගන්න.
ප්‍රණීත අහරින් ඔබ ම සොම්නස් වන්න.
3සවන් යොමා, මවෙත එන්න;
ඔබ ජීවත් වන පිණිස, මට ඇහුම්කන් දෙන්න.
විශ්වසනීය ව, දාවිත්ට මා පොරොන්දු වූ නොමියෙන ප්‍රේමයෙන් යුතු ව,
මම ඔබ සමඟ සදාතනික ගිවිසුමක් කරන්නෙමි.
4බලන්න! මා ඔහු සෑදුවේ, ජාතීන්ට සාක්ෂිකරුවෙක් වශයෙනි;
ජනයින්ට නායකයකු හා අණ දෙන්නකු වශයෙනි.
5ඔන්න ඔබ, ඔබ නො දත් ජාතියක් කැඳවනු ඇත.
ඔබ ගැන නො දන්නා ජාතියක් වහ වහා ඔබ වෙත එනු ඇත.
එසේ වන්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හා
ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ නිසා ය.
මන්ද උන්වහන්සේ, ඔබ තේජසට පමුණුවා ඇති බැවිනි.
6ස්වාමින්වහන්සේ හමු විය හැකි ව සිටියදී, උන්වහන්සේ සොයන්න.
උන්වහන්සේ ළං ව සිටියදී, උන්වහන්සේ අමතන්න.
7දුෂ්ටයා තම මාර්ගය අත්හරීවා.
නපුරු මිනිසා තම සිතුවිලි අත්හරීවා.
ඔහු ස්වාමින්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ ඔහුට දයා කරන සේක.
ඔහු අපේ දෙවියන්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ නො මසුරු ව කමා වන සේක.
8“මන්ද මගේ අදහස්, ඔබේ අදහස් නො වේ.
ඔබේ මාර්ග ද මගේ මාර්ග නො වේ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
9“අහස, පොළොවට වඩා ඉහළින් ඇති සේ,
මගේ මාර්ග, එපරිදි ඔබගේ මාර්ගවලට වඩා ඉහළ ය.
මගේ අදහස්, ඔබේ අදහස්වලට වඩා උසස් ය.
10වැස්ස හා හිම,
අහසින් පොළොවට වැටී,
පොළොව තෙත් කොට, දළු පැළ නංවා,
වපුරන්නාට බීජ ද භුක්තිවිඳින්නාට අහර ද
හට ගැන්වෙන සේ බිම සශ්‍රීක කොට මිස,
ආපසු හැරී නො එන්නේ යම් සේ ද,
11මගේ මුවින් නික්මෙන මගේ වචනය ද එසේ ම වෙයි.
එය හිස් අතින් මා වෙත හැරී නො එයි.
එය මගේ අභිලාෂය ඉෂ්ට කර,
මා එය යැවූ අරමුණ මුදුන් පමුණුවයි.
12මන්ද ඔබ ප්‍රීතියෙන් පිටතට යනු ඇත.
සාමයෙන් පෙරට ගෙන යනු ලබනු ඇත.
කඳු හා හෙල්,
ඔබ ඉදිරියේ ගී ගයන්නට නැගී සිටී;
කෙත් වත්හි සියලු ගස්,
අත්පොළසන් දෙන්නට වෙයි.
13කටු පඳුරු වෙනුවට සයිප්‍රස් ගස් හට ගනී.
ගොකටු වෙනුවට මරඳ ගස් වැඩේ.
ස්වාමින්වහන්සේගේ කීර්තිය සඳහා වන
සදහට ම මැකී නො යන
සලකුණ එයයි.”

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 55: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න