යෙසායා 54:1-10
යෙසායා 54:1-10 SCV
“දරුවන් නො දැරූ එම්බා වඳ තැනැත්තිය, ගී හඬ නගන්න. ප්‍රසව වේදනා නො විඳි තැනැත්තිය, ගී හඬ නගා, ඝෝෂා කරන්න. මන්ද විවාහක තැනැත්තියට වඩා තනිකර දමනු ලැබූ තැනැත්තියට දරුවන් බොහෝ වෙතැ” යි ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ කූඩාරමේ ගෙබිම, පුළුල් කර ගන්න. ඔබේ ගෙබිමේ කූඩාරම් තිර, දිග හරින්න. නවතා නො ගන්න. ඔබේ ලණු පොට ඉතා දීර්ඝ කොට, එහි ඉණි ශක්තිමත් ව සිටුවන්න. මන්ද ඔබ දකුණු දෙසටත්, වම් පසටත් එතෙරට පැතිර යනු ඇත. ඔබේ දරු පරපුර ජාතීන් අයිති කර ගෙන, පාළුවට ගිය නගරවල පදිංචි වනු ඇත. “භය නො වන්න, මන්ද ඔබ ලජ්ජාව විඳින්නේ නැත. නින්දාව ගැන අධෛර්ය නො වන්න, මන්ද ඔබ අවමානයට පත් වන්නේ නැත. මන්ද ඔබේ යෞවනයේ ලජ්ජාව, ඔබට අමතක වනු ඇත. ඔබේ වැන්දඹු භාවයේ නින්දාව, ඔබට තවත් සිහි වන්නේ නැත. මන්ද ඔබේ සැමියා, ඔබේ මැවුම්කරුවාණන් ය. සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ඔබේ මිදුම්කරුවාණන් ය. උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ, මුළු පොළොවෙහි දෙවියන්වහන්සේ යනුවෙනි. අත්හැර දමනු ලැබ සිටි, ආත්මයේ සෝ තැවුල් විඳි බිරිඳක වශයෙන් ද පන්නා දමනු ලැබ සිටි විවාපත් තුරුණු බිරිඳක වශයෙන් ද ස්වාමින්වහන්සේ යළි ඔබ කැඳවන සේකැ” යි ඔබේ දෙවියන්වහන්සේ පවසන සේක. “එක් සුළු මොහොතකට මම ඔබ අත්හළෙමි. එහෙත් මහා අනුකම්පාවකින් මම යළි ඔබ කැඳවා ගනිමි. කෝපයේ රළ-පතරකින් ඔබ වෙතින් මම, මොහොතකට මගේ මුහුණ සඟවා ගතිමි. එහෙත් සදාතනික ප්‍රේමයෙන් මම ඔබට අනුකම්පා කරමි” යි ඔබේ මිදුම්කරුවාණන් වන ස්වාමින්වහන්සේ පවසන සේක. “මට මෙය නෝවාගේ දවස් වැන්න. නෝවාගේ ගං වතුර යළි කිසි දින පොළෝ තලය වසා ගන්නේ නැතැයි මා දිවුරා ඇති පරිදි, ඔබ කෙරේ කෝප වන්නේ නැති වගට හා යළි කිසි දින ඔබට තරවටු නො කරන වගට මම දැන් දිවුළෙමි. මන්ද කඳු නික්ම යනු ඇත. හෙල් ද ඉවත් කරනු ලබන්නේ ය. එහෙත් ඔබට ඇති මගේ නොමියෙන පෙම ඔබ වෙතින් නික්ම යන්නේ නැත. මගේ සාමයේ ගිවිසුම ද ඉවත් කරනු ලබන්නේ නැතැ” යි ඔබට දයානුකම්පා පානා ස්වාමින්වහන්සේ කියන සේක.

