යෙසායා 53:10-12

යෙසායා 53:10-12 SCV

එහෙත් ස්වාමින්වහන්සේගේ කැමැත්ත වූයේ එතුමන් තළා-පෙළා, වධ වේදනාවට පත් කිරීම ය. එතුමන්ගේ ජීවය, පව් නසන පූජාවක් වූ කල, එතුමන් තම වංශය දකිනු ඇත. එතුමන් තම දවස් දිගු කර ගනී; ස්වාමින්වහන්සේගේ කැමැත්ත ද එතුමන් අත සඵල වන්නේ ය. තම ජීවයේ කටුක වේදනාවෙන් ලද දෑ දැක, එතුමන් තෘප්තිමත් වන්නේ ය. මගේ ධර්මිෂ්ඨ තැනැත්තාණන්, මගේ සේවකයා, ස්වකීය දැනගැන්මෙන් බොහෝ දෙනකු ධර්මිෂ්ඨ කරනු ඇත. ඔවුන්ගේ අයුතුකම් තමන් පිට දරා ගනු ඇත. එබැවින් ශ්‍රේෂ්ඨයින් අතරෙහි කොටසක් මම ඔහුට බෙදා වෙන් කර දෙමි. බලවතුන් සමඟ එතුමා කොල්ලය බෙදා ගනු ඇත. මන්ද මරණය දක්වා ම, එතුමන් තම ජීවිතය වැගිර වූ බැවිනි; අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබූ බැවිනි. මන්ද බොහෝ දෙනකුගේ පාප දරාගත් එතුමෝ, අපරාධකරුවන් උදෙසා මැදහත්කමක් කළ සේක.