යෙසායා 51:17-23
යෙසායා 51:17-23 SCV
ඔබ ම පුබුදුවාගන්න! ඔබ ම පුබුදුවාගන්න! නැගී සිටින්න. එම්බා යෙරුසලම, ස්වාමින්වහන්සේ අතින්, උන්වහන්සේගේ උදහසේ කුසලානෙන් පානය කළ ඔබ, වැනි වැනී යන කුසලාන වන, එහි අඩියේ මණ්ඩි ටිකත් පානය කර ඇත. ඇය බිහි කළ පුතුන් හැම අතරින්, ඇයට මග පෙන්වන්නට එකකුදු නැත. ඇතිදැඩි කළ සියලු පුතුන් අතුරින්, ඇගේ අත අල්ලාගෙන යන්නට එකෙකුදු නැත. මෙම ව්‍යසන දෙක ඔබ පිට පතිත ව ඇත. කවරකුට ඔබ සැනසිය හැක්කේ ද? වැනසීම, විනාශය, සාගතය හා කඩු පහර යන මේවායින් මම කෙලෙස ඔබ අස්වසම් ද? ඔබේ පුතුන් ක්ලාන්ත වී ඇත. දැලකට හසු වූ මුවකු පරිද්දෙන්, හැම වීදියක් ඉද්දර ම ඔවුහු ලැග සිටිති. ස්වාමින්වහන්සේගේ උදහසින්, ඔබේ දෙවියන්වහන්සේගේ තරවටුවෙන් ඔවුහු පුරවනු ලැබ සිටිති. එබැවින් පීඩිතය, මීට සවන් දෙන්න. ඔබ සිටින්නේ මත් වෙලා ය. එහෙත් මිදි යුෂවලින් නො වේ. තම ජනයා ගැන කරුණු කියන්නා වූ, ඔබේ දෙවියන්වහන්සේ වන පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මෙන්න! වැනි වැනී යන්නට සිදු වූ මගේ උදහසේ පාත්‍රය ඔබේ අතින් මම ගත්තෙමි. මගේ උදහසේ පාත්‍රයෙන් ආයෙත් ඔබ බොන්නේ නැත. ඔබට වධ වේදනා පැමිණවුන් අතට මම එය පත් කරමි. ‘නුඹ පාගා ගෙන යන්නට අපට හැකි වන පිණිස, මුණින් තලා වී බිම දිගා වන්නැ’ යි ඔවුහු ඔබට කීහ. ඇවිදින්නට වීදියක් බඳුව ඔබත්, ඔබේ පිට, පාදිකාවක් කළේ ය.”

