යෙසායා 49:14-21

යෙසායා 49:14-21 SCV

එහෙත් සියොන කීවේ, “ස්වාමින්වහන්සේ මා අත් හළ සේක. මගේ ස්වාමින් මා අමතක කළ සේක” කියා ය. “තම කිරි-දරුවා අමතක කරන්නට ස්ත්‍රියකට හැකි ද? තම කුස ඔත් දරුවාට අනුකම්පා නො කර ඉන්නට ඇයට පුළුවන් ද? මොවුන් අමතක කළා වුව ද, මා නුඹලා අමතක කරන්නේ නැත. මෙන්න, මගේ අතේ අත්ලෙහි, මම ඔබ කොටා ගතිමි. ඔබේ පවුරු හැම කල්හි මා අබියස ය. ඔබේ දරුවෝ කඩිනමින් ආපසු එති; ඔබ බිඳ දැමූවෝ, ඔබ වැනසූවෝ ඔබෙන් ඉවත් ව යති. ඔබේ ඇස් විදහා අවට බලන්න. ඔවුහු සියල්ලෝ එක් වී, ඔබ වෙත එන්නෝ ය. මා ජීවත් වන වග සැබෑ සේ ම, ආභරණ සේ ඔබ ඔවුන් හැම පැලඳ ගනු ඇත. මනාලියක සේ ඔබ ඔවුන් බැඳ ගනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “විනාශ කරන ලද, පාළුවට හැර දමනු ලැබූ ස්ථාන හා ආලාපාළු වූ ඔබේ දේශය දැන් ඔබේ ජනාවාස සඳහා ඇත්තෙන් ම ඉතා පටු ය. ඔබ ගිලගන්නන් ද බෙහෙවින් ඈත ය. ඔබේ වියෝ දුක් කාලයේ දරුවෝ නැවත ඔබට ඇහෙන්නට කතා කරමින්, ‘මෙතැන අපට කොහෙත් ම ඉඩ මදි; පදිංචියට ඉඩකඩ සලසා දෙන්නැ’ යි කියති. එවිට ඔබ, ඔබේ හද තුළ කතා කරමින්, ‘මොවුන් මට උපදවා දුන්නේ කවුරු ද? මම වියෝ දුකට පත් කරනු ලැබ, නිසරු ව, පිටුවහල් ව, ඉවතලනු ලැබ සිටියෙමි. ඉතින් මොවුන් ඇතිදැඩි කළෝ කවුරු ද? බලනු, මම තනි කරනු ලැබීමි. මොවුන් ආවේ කොහේ සිට දැ?’ යි” කියනු ඇත.