යෙසායා 48:4-11
යෙසායා 48:4-11 SCV
මන්ද ඔබ කොතරම් මුරණ්ඩු දැයි මම දන්නෙමි. ඔබේ ගෙලෙහි බල නහර යකඩ ය. ඔබේ නළල්තල ලෝකඩ ය. ‘මේවා කළේ මගේ පිළිමය ය. මේවා නියම කළේ, මගේ වාත්තු ප්‍රතිමාව හා ලෝහ දෙවියා යැ’ යි කීමට ඔබට නො හැකි වන පිණිස, බොහෝ ඉහතදී මේ දෑ මම ඔබට කීවෙමි; ඒ දෑ සිදු වන්නට කලින් මම ඒවා ඔබට ප්‍රකාශ කළෙමි. මේ දෑ ඔබ අසා ඇත. ඒ හැම දෙස බලන්න. නුඹ ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැද්ද? “මෙතැන් පටන් මම අලුත් දෑ, ඔබ නො දන්නා සැඟවුණු දෑ ඔබට කියන්නෙමි. ඒවා මවන ලද්දේ දැන් ය. බොහෝ ඉහතදී නො වේ. අද දිනට කලින් ඒවා ගැන ඔබ අසා නැත. එබැවින්, ‘හරි, මම ඒවා දැන සිටියෙමි’ යි කීමට ඔබට නුපුළුවන. ඔබ ඇසුවේ නැත; වටහා ගත්තේ ද නැත. ආදියේ පටන් ඔබේ කන ඇරී තිබුණේ නැත. ඔබ කොතරම් ද්‍රෝහියකුදැයි මම දැන සිටියෙමි. ඔබේ උපතටත් කලින් ඔබ හඳුන්වනු ලද්දේ කැරලිකරුවා යනුවෙනි. මගේ නාමය උදෙසා, මගේ උදහස මම ප්‍රමාද කරමි. මගේ ප්‍රශංසාව උදෙසා ඔබ සිඳ නො දමන පිණිස, ඔබ වෙතින් උදහස මැඩ ගනිමි. ඔන්න, මම ඔබ පවිත්‍ර කළෙමි. එහෙත් රිදී මෙන් නො වේ. විපත්ති-පීඩා උදුනෙහි මම ඔබ සෝදිසි කළෙමි. මන්ද මා මෙසේ කරන්නේ, මා උදෙසා ය. මා උදෙසා ම ය. මගේ නාමය නිග්‍රහයට පත් වීමට මම කෙසේ ඉඩ දෙම් ද? මගේ ගෞරවය කොහෙත් ම වෙන කෙනකුට නො දෙන්නෙමි.

