යෙසායා 47:8-15
යෙසායා 47:8-15 SCV
“ ‘මා පමණෙකි; මා හැර අන් කිසිවකු නැත. කිසි දින වැන්දඹුවක නො වන්නෙමි. දරු වියොවින් දුකට පත් නො වෙමි’ යි තමාට ම කියා ගනිමින්, තමන් සුරක්ෂිත යැයි සිතමින්, පස්කම් සැපතට ගැලෙන්නිය, එබැවින් දැන් සවන් දෙන්න. එක් මොහොතක, එක ම දවසක, දරු වියෝවත්, වැන්දඹුකමත් යන දෙක ම නුඹ කරා පැමිණේ. උපරිමයෙන් ම ඒවා නුඹ වෙත එන්නේ, ඒ සා අපමණ නුඹගේ මන්තර ගුරුකම් සහ නුඹගේ ඉන්ද්‍රජාල නො සලකමිනි. නුඹේ දුෂ්ටකමෙහි සුරක්ෂිත යැයි හඟිමින් නුඹ, ‘කවුරුවත් මා දකින්නේ නැතැ’ යි කීවේ ය. නුඹේ ප්‍රඥාවත්, නුඹේ දැනගැන්මත් නුඹ මුළා කළෙන්, ‘ඇත්තේ මා පමණකි; මා හැර අන් කිසිවකු නැතැ’ යි නුඹ නුඹට ම කියා ගත්තේ ය. එනමුදු විපත්තිය නුඹ පිටට එනු ඇත. මන්තරයෙන් එය පලවා හරින්නට නුඹ දැනගන්නේ නැත. ව්‍යසනය නුඹ පිට පතිත වනු ඇත. වන්දියක් ගෙවා, එය වළක්වන්නට නුඹට හැකියාවක් නැත. නුඹ කිසිවක් නො දන්න විනාශයක් හදිසියේ ම නුඹ පිට එනු ඇත. “ගැටවර වියේ පටන් නුඹ මහන්සියෙන් කර ගෙන ආ නුඹේ ඉන්ද්‍රජාල හා අපමණ මන්තර ගුරුකම් දිගට ම කර ගෙන යන්න. ඇතැම් විට නුඹ සඵල වනු ඇත. ඇතැම් විට නුඹ භය උපද්දවනු ඇත. නුඹ ලද සියලු උපදෙස්වලින් නුඹ වෙහෙසට පත් වෙනවා පමණි. ග්‍රහ-තරු ගණින නුඹේ දෛවඥයින්, චන්ද්‍ර මාස බලා, පෙර නිමිති පවසන නුඹේ නැකැත්කරුවන් ඉදිරියට අවුත්, නුඹ ගලවා ගනිත්දෙන්. සැබවින් ම ඔවුන් ඉපනැලි වැන්න. ගින්න, ඔවුන් දවාලනු ඇත. ගිනිදැල්ලේ බලයෙන් තමන් ගලවා ගැනීමට ඔවුනට නො හැකි ය. මේවා, යමකු උණුසුම් කරන ගිනි අඟුරු නො වේ. ගිනි තපින පිණිස වූ ගින්නක් ද නො වේ. බාල වියේ පටන් ඔබ හා පරිශ්‍රම දැරූවන් ද ගනුදෙනු කළවුන් ද වූ ඔවුනට ඔබ උදෙසා කළ හැක්කේ එපමණකි. ඔවුන් හැම කෙනෙක් ම තම තමන්ගේ ම මාවතේ ඉබාගාතෙ යති. ඔබ ගලවන්නට කිසි කෙනකු නැත.

