යෙසායා 47:1-7

යෙසායා 47:1-7 SCV

“පහතට බැස, දූලියෙහි හිඳගන්න, එම්බා බබිලෝනි කන්‍යා දියණියනි; සිහසුනක් නැතිව බිම හිඳගන්න, එම්බා කල්දිවර දියණියනි. මින් මතු, සිවුමැලි ය, කෝමල යයි ඔබ ගැන කියනු නැත. ඇඹරුම් ගල් ගෙන, පිටි අඹරන්න. ඔබගේ මුහුණු වැස්ම ඉවතලන්න. ඔබගේ සාය ඔසවා, කකුල් නිරාවරණ කොට, වතුරට බැස, ගංගා මැදින් යන්න. නුඹේ නග්න භාවය නිරාවරණ කෙරේ. නුඹේ විලි ලජ්ජා නැතිකම පෙන්නුම් කෙරේ. මම පළිය ගන්නෙමි. එකෙකුදු ඉතිරි නො කරන්නෙමි.” අපගේ මිදුම්කරුවාණෝ, සේනාංකවල ස්වාමින්වහන්සේ යන නාමය දරන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ය. “නිහඬ ව හිඳ, අන්ධකාරය තුළට යන්න, එම්බා කල්දිවරුන්ගේ දියණිය. මන්ද රාජධානිවල රැජින යැයි තවදුරටත් නුඹ අමතනු ලබන්නේ නැත. මම මගේ ජනයා ගැන කෝප වී, මගේ උරුමය අපවිත්‍ර කළෙමි. මම ඔවුන් නුඹ අතට බාර දුනිමි; නුඹ ඔවුන්ට දයාවක් පෑවේ නැත: මහලු අය පිට පවා නුඹ මහ බර වියගහක් පැටවී ය. ‘සදාතන රැජින ව මම වැජඹෙමි’ යි නුඹ පැවසී ය. එහෙත් මේ දෑ නුඹ කල්පනාවට ගත්තේ නැත. අන්තිමට කුමක් සිදු වේ දැයි නුඹ සිතා බැලුවේ නැත.