යෙසායා 46:5-11

යෙසායා 46:5-11 SCV

“ඔබ, මා සසඳන්නේ කවරකුට ද? මා හා සමාන යයි සැලකෙන්නේ කවුරු ද? අප සසඳා බලන පිණිස, ඔබ මා සමාන කරන්නේ කවරකුට ද? තම පසුම්බියෙන් රත්රන් බහුල ව වගුරු වන ඇතැම්හු තරාදිවලින් රිදී කිරා දෙමින්, රන්කරුවකු කුලියට ගෙන, එයින් දෙවියකු සාදා ගෙන, ඉන්පසු ඊට වැඳ වැටෙමින්, නමදිති. ඔවුහු එය ඔසවා, කරපිටින් ගෙන ගොස්, ඊට නියමිත තැන පිහිටුවති. සිට වූ තැන ම රඳනු විනා, එතැනින් සෙලවෙන්නට වත් ඊට බැරි ය. යමකු ඊට මොර ගසා කතා කළත්, එය පිළිතුරු නො දෙයි. ඔහුගේ විපතින් ඔහු මුදන්නට ඊට නුපුළුවන. “එම්බා අපරාධකරුවනි, මෙය සිහි තබාගෙන, නො සැලී සිටිනු. මනසේ එය සවි කර ගනු. ඈත අතීතයෙහි වූ යටගිය දෑ සිහි කරන්න. මන්ද දෙවියන්වහන්සේ මම ය. වෙනත් කෙනකු නැත. දෙවියන්වහන්සේ මම ය. මා හා සමාන කිසිවකු නැත. මම අවසානය, පටන් ගැන්මේදී ම හෙළි කරන්නෙමි. මතු සිදුවන දෑ ගැන, ඈත පුරාණයේදී ම කීවෙමි. ‘මගේ අරමුණ දිගට ම පවතී. මට රිසි හැම දේ මම කරන්නෙමි’ යි මම කියමි. නැගෙනහිර සිට මම, ගිජු පක්ෂියෙකු කැඳවන්නෙමි; මගේ අරමුණ ඉටු කරන්නට, දුර ඈත දේශයකින් මිනිසකු කැඳවන්නෙමි. මා පැවසූ දෑ මම ඉටුවන්නට සලසමි. මා සැලසුම් කළ දෑ මම සිදු කරමි.