යෙසායා 42:10-17

යෙසායා 42:10-17 SCV

පොළොවේ ඈත සීමා වෙත සිට උන්වහන්සේගේ ප්‍රශංසාවන් ගැන ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ගායනා කරන්න. මුහුදු යන, එය පුරවන සියල්ලෙනි, මුහුදු දූපත් හා ඒවායේ වෙසෙන්නෙනි, පාළුකරය හා එහි ඇති නගර, කේදාර්වරුන් වෙසෙන ගම්මාන තමන්ගේ කටහඬින් උස් හඬ නගත්වා! සෙලාහි වාසය කරන්නන් ප්‍රීතියෙන් ගී ගයත්වා! ඔවුහු කඳු මුදුන්හි සිට කෑ ගසත්වා! ඔවුහු ස්වාමින්වහන්සේට ගෞරව මහිම දෙමින්, උන්වහන්සේගේ ප්‍රශංසාව මුහුදු දිවයින් තුළ ප්‍රකාශ කරත්වා! ස්වාමින්වහන්සේ යුද බලවතකු සේ, පිටතට යන සේක. සටන්කරුවකු සේ, තම උද්වේගය පුබුදන සේක. උන්වහන්සේ මොර ගසන සේක. රණ හඬ නංවන සේක්, උන්වහන්සේගේ සතුරනට එරෙහිව තම පරාක්‍රමය පෙන්වන සේක. මන්ද දිගු කලක් මම මගේ සාමය දරා සිටියෙමි. මම නිසොල්මන් ව, මා මැඩපවත්වා ගනිමින් සිටියෙමි. එහෙත් දැන්, කාන්තාවක තම දරු ප්‍රසුතියේදී මෙන්, කෑ මොර දෙමි; අපහසුවෙන් හුස්ම ගනිමි; හති දමමි. කඳු හා හෙල් මම පාළුවට යවන්නෙමි. එහි ගහ කොළ මම වියළවා දමන්නෙමි. මම ගංගා, දූපත් බවට හරවා, දිය පොකුණු හින්දවා දමන්නෙමි. ඔවුන් නො දන්නා මාර්ගයකින් මම අන්ධයින් කැඳවාගෙන යන්නෙමි. නුහුරු නුපුරුදු මාවත්හි මම ඔවුන්ට මග පෙන්වන්නෙමි. මම අන්ධකාරය ඔවුන් ඉදිරියෙහි ආලෝක කර, රළු තැන් සුමුදු කරන්නෙමි. මා කරන දෑ මේවායි; මා ඔවුන් අත්හරින්නේ නැත. එහෙත්, වාත්තු පිළිම තුළ විශ්වාසය තබන, “මගේ දෙවියො ඔබ යැ” යි ලෝහ පිළිමවලට කියන අය ඉමහත් ලජ්ජාවෙන් ආපස්සට හරවනු ලබති.