යෙසායා 38

38
හෙසකියා රෝගී වෙයි
1එදවස්හි හෙසකියා රෝගී ව, මරණාසන්න විය. ආමෝස්ගේ පුත් දිවැසිවර යෙසායා ඔහු වෙත ගොස්, ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබේ ගේ-දොර කටයුතු පිළිවෙලක් කරන්න. මන්ද ඔබ මියෙනු ඇත. ඔබ සුව වන්නේ නැතැ’ යි” පැවසී ය.
2එවිට හෙසකියා තම මුහුණ බිත්තිය දෙසට හරවා, ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, 3“අහෝ ස්වාමින්වහන්ස, විශ්වාසවන්තකමින් ද මුළු හදවතින් ද මා ඔබවහන්සේ ඉදිරියේ පැවතුණු අයුරු හා ඔබගේ ඇස් හමුවේ යහපත කළ අයුරු සිහි කළ මැනව” කියා, මහත් සොවින් හැඬී ය.
4එවිට ස්වාමින්වහන්සේගේ වචනය, යෙසායා වෙත පැමිණියේ ය. 5“ගොස්, හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පිය දාවිත්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම ඔබේ යාච්ඤාව ඇසීමි. ඔබේ කඳුළු දුටිමි. ඔන්න මම ඔබේ ජීවිතයට පහළොස් වසරක් එකතු කරන්නෙමි. 6අසිරියාවේ රජු අතින් ඔබත්, මේ පුරවරයත් මම ගලවන්නෙමි. මම මේ පුරවරය සුරකින්නෙමි.
7“ ‘ස්වාමින්වහන්සේ පොරොන්දු වූ දේ උන්වහන්සේ ඉටු කරන බවට ස්වාමින්වහන්සේ ඔබට දෙන ලකුණ මෙයයි; 8මෙන්න ආහාස්ගේ හෝරා දක්න පඩි පෙළ මතට වැටෙන, බැස යන හිරු-සෙවණැල්ල, පියවර දහයක් ආපස්සට යන්නට මම සලස්සමි.’ ” එබැවින් හිරු, පඩි පෙළෙහි පියවර දහයක් ආපස්සට ගියේ ය.
9යූදා රජු වූ හෙසකියා, රෝගී ව සිට, යළි සුවය ලද පසු ලියූ ලියවිල්ලකි මේ:
10“මගේ ජීවිත මධ්‍යාහ්නයේ මා සමුගෙන යා යුතු ද?
මගේ සෙසු අවුරුදු ෂෙයෝල්#38:10 පාතාලය හෙවත් මළවුන්ගේ ස්ථානය දොරටු තුළට
කැප කරනු ලැබ ඇතැ” යි
මම කියා ගතිමි.
11මම මෙසේ ද කීමි: “ස්වාමින්වහන්සේ දකින්නට-ජීවතුන්ගේ දේශයේදී,
ස්වාමින්වහන්සේ දකින්නට මට ලැබෙන්නේ නැත.
මෙලොවෙහි ජීවත්වන්නන් අතරේ
මින් මතු මිනිස් වර්ගයා මා දෙස බලනු නැත.
12එඬේර කූඩාරමක් සේ, මගේ නිවස ගලවනු ලැබ,
මවෙතින් ඉවත් කරනු ලැබ ඇත.
රෙදි වියන්නකු සේ මම මගේ ජීවිතය එතීමි.
උන්වහන්සේ රෙදි-වියන යන්ත්‍රයෙන් මා කපා හැර ඇත.
දහවලේ සිට රැය දක්වා ඔබ මා ඉවරයක් කළ සේක.
13පාන්දර තෙක් මම ඉවසීමෙන්, බලා සිටියෙමි.
එහෙත් සිංහයකු සේ උන්වහන්සේ මගේ ඇටකටු සියල්ල කැඩූ සේක.
දහවලේ සිට රැය දක්වා ඔබ මා ඉවරයක් කළ සේක.
14වැහි ලිහිණියකු සේ, උල ලිහිණියක සේ, මම කෑ ගැසීමි.
හඬන පරෙවියකු සේ මම කෙඳිරි ගෑවෙමි.
ඉහළට නෙත් යොමා සිටීමෙන් මගේ ඇස් වෙහෙසට පත් විණි.
අහෝ ස්වාමිනි, මම දුකට පත් ව සිටිමි. මගේ රැකවරණයේ සහතිකය වුව මැනව.”
15මම කුමක් කියම් ද?
මන්ද උන්වහන්සේ මට කතා කළ සේක. මෙය කළේ උන්වහන්සේ ම ය.
මගේ ජීවයෙහි මේ සෝ-සන්තාපය නිසා,
මගේ මුළු ජීවිත කාලය ම මම සීරුවෙන් ගත කරමි.
16අහෝ ස්වාමිනි, මේ දේවලින් මිනිස්සු ජීවත් වෙති.
මේ සියල්ල තුළ මගේ ආත්මයේ ජීවනයයි.
අහෝ නිරෝගීත්වයට යළි මා ගෙනෙනු මැනව.
ජීවත් වන්නට මට ඉඩ සලසනු මැනව.
17බලන්න, මා විඳි ඒ මහත් දොම්නස,
මගේ සුබ සෙත පිණිස ම විය.
විනාශයේ වළෙන් ඔබ
මා රැකගත්තේ ප්‍රේමයෙනි.
මන්ද මගේ සියලු පාප,
ඔබ ඔබේ පිටුපසට හෙළූ සේක.
18මන්ද ෂෙයෝල ඔබ පසසන්නේ නැත.
මරණය ඔබ පසසන්නේ නැත.
ඔබේ විශ්වසනීයත්වය ගැන බලාපොරොත්තු තැබීමට,
මිනී වළට බැස යන්නවුන්ට නො හැක.
19මා අද ඔබ පසසන්නා සේ; ජීවත්වන්නන්,
ජීවත්වන්නන් පමණක් ම ය ඔබ පසසන්නේ,
ඔබගේ විශ්වසනීයත්වය ගැන
පියවරු තම දරුවනට කියා දෙති.
20 ස්වාමින්වහන්සේ මා ගලවන සේක;
අපේ මුළු දිවිය පුරා සියලු දවස්හි
ස්වාමින්වහන්සේගේ ගෘහයේදී
තත් සහිත තූර්ය භාණ්ඩ වයමින් අපි ගී ගයන්නෙමු.
21“අත්තික්කා කැටියක් ගෙන, ගඩුව මත තවරන්න. එවිට ඔහු සුවවනු ඇතැ” යි යෙසායා කලින් කියා තිබිණි.
22“මා ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත යන බවට ලකුණ කිමෙක් දැ?” යි හෙසකියා ද අසා තිබිණි.

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 38: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න