යෙසායා 38:1-8
යෙසායා 38:1-8 SCV
එදවස්හි හෙසකියා රෝගී ව, මරණාසන්න විය. ආමෝස්ගේ පුත් දිවැසිවර යෙසායා ඔහු වෙත ගොස්, ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබේ ගේ-දොර කටයුතු පිළිවෙලක් කරන්න. මන්ද ඔබ මියෙනු ඇත. ඔබ සුව වන්නේ නැතැ’ යි” පැවසී ය. එවිට හෙසකියා තම මුහුණ බිත්තිය දෙසට හරවා, ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, විශ්වාසවන්තකමින් ද මුළු හදවතින් ද මා ඔබවහන්සේ ඉදිරියේ පැවතුණු අයුරු හා ඔබගේ ඇස් හමුවේ යහපත කළ අයුරු සිහි කළ මැනව” කියා, මහත් සොවින් හැඬී ය. එවිට ස්වාමින්වහන්සේගේ වචනය, යෙසායා වෙත පැමිණියේ ය. “ගොස්, හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පිය දාවිත්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම ඔබේ යාච්ඤාව ඇසීමි. ඔබේ කඳුළු දුටිමි. ඔන්න මම ඔබේ ජීවිතයට පහළොස් වසරක් එකතු කරන්නෙමි. අසිරියාවේ රජු අතින් ඔබත්, මේ පුරවරයත් මම ගලවන්නෙමි. මම මේ පුරවරය සුරකින්නෙමි. “ ‘ස්වාමින්වහන්සේ පොරොන්දු වූ දේ උන්වහන්සේ ඉටු කරන බවට ස්වාමින්වහන්සේ ඔබට දෙන ලකුණ මෙයයි; මෙන්න ආහාස්ගේ හෝරා දක්න පඩි පෙළ මතට වැටෙන, බැස යන හිරු-සෙවණැල්ල, පියවර දහයක් ආපස්සට යන්නට මම සලස්සමි.’ ” එබැවින් හිරු, පඩි පෙළෙහි පියවර දහයක් ආපස්සට ගියේ ය.

