යෙසායා 29:13-24

යෙසායා 29:13-24 SCV

ස්වාමින් මෙසේ කියන සේක: “මේ ජනයා කට වචනයෙන් මා වෙත ළඟා වී, තම තොල්වලින් මට ගෞරව කරන්නේ, තමන්ගේ හදවත් මවෙතින් බොහෝ ඈත තබාගෙන ය; ඔවුන් මට කරන නමස්කාරය, මිනිසුන් විසින් උගන්වන ආඥාවලට අනුව ය. එබැවින්, ඔන්න මම පුදුම පිට පුදුම මගින් තවත් වරක් මේ ජනයා පුදුමයෙන් වික්ෂිප්ත කරන්නෙමි. ප්‍රඥාවතුන්ගේ ප්‍රඥාව වැනසේ. බුද්ධිමතුන්ගේ බුද්ධිය සඟවනු ලැබේ.” අහෝ තම සැලසුම් ස්වාමින්වහන්සේ වෙතින් ගැඹුරේ සඟවන, තම ක්‍රියා අන්ධකාරයෙහි ඇති අය “හහ්; කවුරු දකිත් ද? කවුරු දනිත් දැ?” යි කියන අය කුඹල්කරුවා ද මැටි වගේයැයි සිතමින්, නුඹලා කාරණා යටිකුරු කරන හැටි! සාදන ලද දෙයක් එහි සැදුම්කරුට “ඔහු මා සෑදුවේ නැතැ” යි කීම හරි ද? “ඔහුට වැටහීම නැතැ” යි කුඹල්කරුට කීමට මැටි මුට්ටියකට හැකි ද? ලෙබනොනය, සාරවත් කෙතක් බවට පත් වන්නට මහ කාලයක් ගත නො වේ; සාරවත් කෙත, වනාන්තරයක් සේ ගණන් ගනු නො ලැබේ ද? ඒ දවසේ බිහිරනට පොතක වචන ඇසෙනු ඇත. කළුවර හා අන්ධකාරය අතරින් අන්ධයනගේ ඇස්වලට පෙනීම ලැබෙනු ඇත. යටහතුන් ස්වාමින්වහන්සේ තුළ නවමු ප්‍රීතියක් ලබනු ඇත. මානව වර්ගයා අතර දුගී දුප්පතුන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ගැන, ප්‍රීති වනු ඇත. කෘෘරයින් නැත්තට නැති වී යනු ඇත. අපහාස කරන්නන් පහව යනු ඇත. දුෂ්ට ඇසක් ඇති සියල්ලෝ සිඳ දැමෙනු ඇත. වචනයකින් යමෙකු වරදකරුවෙකු බවට පත් කරන්නෝ, සමථකරුට උසාවියේදී උගුල් අටවන්නෝ, බොරු සාක්ෂි මගින් නිදොස් අයගේ යුක්තිය පෙරළන්නෝ සිඳ දමනු ලබන්නෝ ය. එබැවින් ආබ්‍රහම් මුදා ගත් ස්වාමින්වහන්සේ, යාකොබ් වංශය ගැන මෙසේ කියන සේක: “යාකොබ් තවදුරටත් ලජ්ජාවට පත් වන්නේ නැත. තවදුරටත් ඔවුන්ගේ මුහුණු සුදුමැලි වන්නේ නැත. මගේ අත්-වැඩ වන තම දරුවන් තමන් මධ්‍යයේ සිටිනු ඔවුන් දුටු කල, ඔවුන් මගේ නාමය ශුද්ධ ව පිළිගනු ඇත. ඔවුන් යාකොබ්ගේ ශුද්ධ තැනැන්වහන්සේගේ ශුද්ධ භාවය පිළිගෙන, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට භය පක්ෂපාතී ව සිටිනු ඇත. ආත්මික ව මංමුළා වූවන් දැනගැන්ම අත්කර ගනු ඇත. පැමිණිලි කරන්නන් උපදෙස් පිළිගනු ඇත.”

මෙයට අදාළ වීඩියෝ

යෙසායා 29:13-24 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය