යෙසායා 14
14
1 ස්වාමින්වහන්සේ, යාකොබ්ට අනුකම්පා කරන සේක,
යළිත් ඉශ්‍රායෙල් තෝරා ගෙන,
ඔවුන්ගේ ම දේශයේ ඔවුන් පදිංචි කරවනු ඇත.
විදෙස්සන් ද ඔවුනට එක් වී,
යාකොබ් වංශය හා බැඳෙනු ඇත.
2නොයෙක් ජාතීන් විසින් ඉශ්‍රායෙල්වරු
ඔවුන්ගේ රටට ගෙනවුත්, ඇරලවනු ලබති.
ස්වාමින්වහන්සේගේ දේශයේදී ඉශ්‍රායෙල් වංශය,
ඒ ජාතීන් පිරිමි හා ගැහැණු වහල් සේවක සේවිකාවන් වශයෙන් අයිති කර ගනු ඇත.
තමන් වහල්කමට ගත්තවුන් තමන් විසින් වහල්කමට ගන්නා ඔවුන්,
තමන්ට පීඩා කළ පීඩකයින් පාලනය කරනු ඇත.
3දුක්-පීඩාවලින් හා ආරවුලින් ද ඔබට මෙහෙ කරන්නට සිදු වූ දුෂ්කර සේවයෙන් ද ස්වාමින්වහන්සේ ඔබට සැනසිල්ල ගෙන දුන් කල, 4බබිලෝනි රජුට එරෙහිව ඔබ මෙම සමච්චලය යොදා ගනු ඇත.
පීඩකයා අවසානයකට පැමිණි හැටි!
අහංකාර වියරුව කෙළවර වූ හැටි!
5දුෂ්ටයාගේ ඉපලත්, පාලකයින්ගේ රාජ යෂ්ටියත්
ස්වාමින්වහන්සේ බිඳ දැමූ සේක.
6එය කෝපයෙන් යුතු ව නිරන්තර පහරදීම්වලින්
ජනයා තැලූ-පෙලූ,
වියරු ක්‍රෝධයෙන් යුතු වූ නිර්දය වධදීම්වලින්
ජාතීන් පාලනය කළේ ය.
7මුළු මහත් පොළෝ තලය ම සැනසිල්ලේ සන්සුන් ව පවතී.
ඒවායේ ප්‍රීති ගීත පැන නැගේ.
8සයිප්‍රස් ගස් නුඹ ගැන සන්තෝෂ වෙයි.
ලෙබනොන්හි දේවදාර ගස්,
“නුඹ දැන් බිම හෙළන ලද බැවින්,
ගස් කපන කිසිවකුත් අපට එරෙහිව එන්නේ නැතැ” යි කියයි.
9ඔබ එන කල ඔබ පිළිගන්නට,
පහත ෂෙයෝලය#14:9 පාතාලය හෙවත් මළවුන්ගේ ස්ථානය, කලබල ව සිටී.
ඔබට ආචාර කරන්නට,
ලොව ජන නායකයින් ව සිටි සියල්ලන්ගේ ආත්ම එය පොලඹවයි,
ජාතීන් කෙරෙහි රජකම් කළ සියල්ලන් ම
ඔවුන්ගේ සිංහාසනවලින් නැගිටීමට එය සලස්වයි.
10ඔවුන් සැවොම පිළිතුරු දෙමින්,
ඔබට මෙසේ කියනු ඇත:
“ඔබත්, අප වගේ ම දුර්වල වෙලා,
ඔබත් අප වගේ ම වෙලා.”
11ඔබේ විභූතියත්, ඔබේ මහ වීණාවල සංගීතයත්,
ෂෙයෝල් මිනී වළට පමුණුවලා.
ඔබට යටින් එළන ලද පැදුර, ඉහඳ පණුවෝ ය.
ඔබ වැසී සිටින පොරෝනය ද පණුවෝ ය.
12ස්වර්ගයෙන් නුඹ වැටී ගිය හැටි!
එම්බා පහන් තරුව, අරුණැල්ලේ පුත්‍රය,
ජාතීන් බිමට ම හෙළූ නුඹ,
මහ පොළොවට හෙළා දැමුණු හැටි!
13නුඹේ හද තුළ නුඹ මෙසේ කීවෙහි ය:
“මම ස්වර්ගයට නැගෙන්නෙමි.
දෙවියන්වහන්සේගේ තරුවලට ඉහළින්
මගේ සිහසුන පිහිටු වන්නෙමි.
මම හමුවීමේ කන්ද මත,
සාෆෝන් කන්දේ උස ම කඳු ගැටි මත හිඳගන්නෙමි.
14මම වලාකුළු මුදුන්වලට ඉහළින් නැගී,
මම, මහෝත්තමයාණන් වාගේ මා පත් කර ගන්නෙමි.”
15එහෙත් නුඹ ෂෙයෝලයට,
නරාවළේ අන්තිම ගැඹුරට, හෙළා දමනු ලැබ සිටී.
16ඔබ දකින්නවුන්, ඇස් මහත් කර, බලා,
ඕනෑකමින් සිතා බලා මෙසේ කියනු ඇත:
“පොළොව සලිත කළ,
රාජධානි වෙවුලන්නට සැලසූ මිනිසා මොහු ද?
17ලෝකය පාළුකරයක් කළ,
එහි නගර බිඳ හෙළූ,
සිරකරුවන්ට ගෙදර යාමට ඉඩ නුදුන් මිනිසා මොහු ද?”
18සියලු ජාතීන්ගේ රජවරු ගෞරව සහිත,
තම තමන්ගේ සොහොන් තුළ සැතපෙති.
19එහෙත් නුඹ නුඹේ ම සොහොනින් ඉවතට ඇද දමනු ලැබ ඇත්තේ,
නුසුදුසු අත්තක් පරිද්දෙනි.
කඩුපතින් ඇනුම් ලදුව, ඝාතන කරනු ලැබ,
නරාවළේ ගල් අතරට බැස ගිය මළවුන්ගෙන් නුඹ වැසී ඇත.
පයින් පාගා දමන ලද මළකඳක් මෙන්,
20භූමදානයේදී නුඹ ඔවුන් සමඟ එක් නො වනු ඇත.
මන්ද නුඹ, නුඹේ ම දේශය වනසා,
නුඹේ ම ජනයා මරා දැමූ බැවිනි.
දුෂ්ටයන්ගෙන් පැවත එන්නා
යළි කිසි දින සිහිපත් නො කෙරේ.
21ඔවුන්ගේ පියවරුන්ගේ අයුතුකම් උදෙසා
ඔහුගේ පුතුන් ඝාතනයට සූදානම් කරන්න.
ඔවුන් නැගිට, පොළොව උරුම කර නො ගත යුතු ය.
පුර නගරවලින් මිහි පිට නො පිරවිය යුතු ය.
22“මම ඔවුන්ට එරෙහිව නැගිටින්නෙමි” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක්,
“බබිලෝනිය වෙතින් එහි නාමය ද ජීවත් ව ඉතිරි ව සිටින්නන් ද
එහි වංශය හා ජන පරපුර ද සිඳ දමන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
23“මම එය බකමූණන්ගේ වාසයක් බවට ද
ගොහොරු බිමක් බවට ද පත් කරන්නෙමි.
විනාශයේ කොස්සෙන් මම එය අතු ගා දමන්නෙමි” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
24සේනාංකවල ස්වාමින්වහන්සේ දිවුළ සේක්,
“මම සැලසුම් කළෙමි. එය එසේ ම සිදු වනු ඇත.
මම අරමුණු කළෙමි. එය ස්ථාවර වනු ඇත.
25ඒ, මගේ දේශයෙන් මා අසිරියන්වරුන් මැඩලීමෙනි.
මගේ කඳුවලදී මා ඔවුන් බිම හෙළා, පාගා දැමීමෙනි.
තවද ඔවුන්ගේ වියගහ, ඔවුන් වෙතින් ඉවත් කර
ඔවුන් පැට වූ බර, ඔවුන්ගේ උරහිසින් ඉවත් කිරීමෙනි.”
26මුළු ලෝකය සඳහා අරමුණු කරන ලද සැලැස්ම මෙයයි.
සියලු ජාතීන්ට ඉහළින් දිගු කරන ලද හස්තය මෙයයි.
27මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේ අරමුණු කළ සේක; එය අවලංගු කරන්නේ කවුරු ද?
උන්වහන්සේගේ හස්තය දිගු කරනු ලැබ ඇත; එය ආපසු හරවන්නේ කවුරු ද?
පිලිස්තිය ගැන
28මෙම දිව්‍ය ප්‍රකාශනය පැමිණියේ ආහාස් රජු මිය ගිය අවුරුද්දේ ය.
29ප්‍රීති නො වන්න. එම්බා පිලිස්තීයයනි,
නුඹලා සියල්ලන් ම, නුඹලාට බැට දුන් ඉපල, කඩා දමනු ලැබ ඇති නිසා.
සර්පයකුගේ මූලධාතුවෙන් පොළඟකු පැන නැගෙනු ඇත.
උගේ පැටවා, ඉගිළෙන විසකුරු සර්පයකු වනු ඇත.
30තවද දුප්පතුන්ගේ කුලුඳුලා තණ බුදිනු ඇත.
දිළින්දන් සුරැකි ව දිගා වී සිටිනු ඇත.
එහෙත් මම සාගතයෙන් නුඹලාගේ මුල්, විනාශ කරන්නෙමි.
ජීවත් ව ඉතිරි ව සිටින්නන් එයින් වැනසී යනු ඇත.
31එම්බා දොරටුව, ලතෝනි දෙනු. එම්බා නගරය, බෙරිහන් දෙනු.
දියවී යනු එම්බා පිලිස්තීයයනි, නුඹලා සියල්ලන් ම!
මන්ද උතුරු දෙසින් දුම් පැමිණෙයි.
ඔහුගේ ශ්‍රේණිවල මංමුළා ව යන්නකු නො වනු ඇත.
32ජාතීන්ගේ නියෝජිතයිනට
දිය හැකි උත්තරය කුමක් ද?
“ස්වාමින්වහන්සේ සියොන ස්ථාපන කර ඇත.
දුක් පීඩා විඳි උන්වහන්සේගේ ජනයා ඒ තුළ පිළිසරණ ලබනු ඇත.”
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 14: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.