ස්වාමින්වහන්සේ, යාකොබ්ට අනුකම්පා කරන සේක,
යළිත් ඉශ්‍රායෙල් තෝරා ගෙන,
ඔවුන්ගේ ම දේශයේ ඔවුන් පදිංචි කරවනු ඇත.
විදෙස්සන් ද ඔවුනට එක් වී,
යාකොබ් වංශය හා බැඳෙනු ඇත.
නොයෙක් ජාතීන් විසින් ඉශ්‍රායෙල්වරු
ඔවුන්ගේ රටට ගෙනවුත්, ඇරලවනු ලබති.
ස්වාමින්වහන්සේගේ දේශයේදී ඉශ්‍රායෙල් වංශය,
ඒ ජාතීන් පිරිමි හා ගැහැණු වහල් සේවක සේවිකාවන් වශයෙන් අයිති කර ගනු ඇත.
තමන් වහල්කමට ගත්තවුන් තමන් විසින් වහල්කමට ගන්නා ඔවුන්,
තමන්ට පීඩා කළ පීඩකයින් පාලනය කරනු ඇත.
දුක්-පීඩාවලින් හා ආරවුලින් ද ඔබට මෙහෙ කරන්නට සිදු වූ දුෂ්කර සේවයෙන් ද ස්වාමින්වහන්සේ ඔබට සැනසිල්ල ගෙන දුන් කල, බබිලෝනි රජුට එරෙහිව ඔබ මෙම සමච්චලය යොදා ගනු ඇත.
පීඩකයා අවසානයකට පැමිණි හැටි!
අහංකාර වියරුව කෙළවර වූ හැටි!
දුෂ්ටයාගේ ඉපලත්, පාලකයින්ගේ රාජ යෂ්ටියත්
ස්වාමින්වහන්සේ බිඳ දැමූ සේක.
එය කෝපයෙන් යුතු ව නිරන්තර පහරදීම්වලින්
ජනයා තැලූ-පෙලූ,
වියරු ක්‍රෝධයෙන් යුතු වූ නිර්දය වධදීම්වලින්
ජාතීන් පාලනය කළේ ය.
මුළු මහත් පොළෝ තලය ම සැනසිල්ලේ සන්සුන් ව පවතී.
ඒවායේ ප්‍රීති ගීත පැන නැගේ.
සයිප්‍රස් ගස් නුඹ ගැන සන්තෝෂ වෙයි.
ලෙබනොන්හි දේවදාර ගස්,
“නුඹ දැන් බිම හෙළන ලද බැවින්,
ගස් කපන කිසිවකුත් අපට එරෙහිව එන්නේ නැතැ” යි කියයි.
ඔබ එන කල ඔබ පිළිගන්නට,
පහත ෂෙයෝලය, කලබල ව සිටී.
ඔබට ආචාර කරන්නට,
ලොව ජන නායකයින් ව සිටි සියල්ලන්ගේ ආත්ම එය පොලඹවයි,
ජාතීන් කෙරෙහි රජකම් කළ සියල්ලන් ම
ඔවුන්ගේ සිංහාසනවලින් නැගිටීමට එය සලස්වයි.
ඔවුන් සැවොම පිළිතුරු දෙමින්,
ඔබට මෙසේ කියනු ඇත:
“ඔබත්, අප වගේ ම දුර්වල වෙලා,
ඔබත් අප වගේ ම වෙලා.”
ඔබේ විභූතියත්, ඔබේ මහ වීණාවල සංගීතයත්,
ෂෙයෝල් මිනී වළට පමුණුවලා.
ඔබට යටින් එළන ලද පැදුර, ඉහඳ පණුවෝ ය.
ඔබ වැසී සිටින පොරෝනය ද පණුවෝ ය.
ස්වර්ගයෙන් නුඹ වැටී ගිය හැටි!
එම්බා පහන් තරුව, අරුණැල්ලේ පුත්‍රය,
ජාතීන් බිමට ම හෙළූ නුඹ,
මහ පොළොවට හෙළා දැමුණු හැටි!
නුඹේ හද තුළ නුඹ මෙසේ කීවෙහි ය:
“මම ස්වර්ගයට නැගෙන්නෙමි.
දෙවියන්වහන්සේගේ තරුවලට ඉහළින්
මගේ සිහසුන පිහිටු වන්නෙමි.
මම හමුවීමේ කන්ද මත,
සාෆෝන් කන්දේ උස ම කඳු ගැටි මත හිඳගන්නෙමි.
මම වලාකුළු මුදුන්වලට ඉහළින් නැගී,
මම, මහෝත්තමයාණන් වාගේ මා පත් කර ගන්නෙමි.”
එහෙත් නුඹ ෂෙයෝලයට,
නරාවළේ අන්තිම ගැඹුරට, හෙළා දමනු ලැබ සිටී.
ඔබ දකින්නවුන්, ඇස් මහත් කර, බලා,
ඕනෑකමින් සිතා බලා මෙසේ කියනු ඇත:
“පොළොව සලිත කළ,
රාජධානි වෙවුලන්නට සැලසූ මිනිසා මොහු ද?
ලෝකය පාළුකරයක් කළ,
එහි නගර බිඳ හෙළූ,
සිරකරුවන්ට ගෙදර යාමට ඉඩ නුදුන් මිනිසා මොහු ද?”
සියලු ජාතීන්ගේ රජවරු ගෞරව සහිත,
තම තමන්ගේ සොහොන් තුළ සැතපෙති.
එහෙත් නුඹ නුඹේ ම සොහොනින් ඉවතට ඇද දමනු ලැබ ඇත්තේ,
නුසුදුසු අත්තක් පරිද්දෙනි.
කඩුපතින් ඇනුම් ලදුව, ඝාතන කරනු ලැබ,
නරාවළේ ගල් අතරට බැස ගිය මළවුන්ගෙන් නුඹ වැසී ඇත.
පයින් පාගා දමන ලද මළකඳක් මෙන්,
භූමදානයේදී නුඹ ඔවුන් සමඟ එක් නො වනු ඇත.
මන්ද නුඹ, නුඹේ ම දේශය වනසා,
නුඹේ ම ජනයා මරා දැමූ බැවිනි.
දුෂ්ටයන්ගෙන් පැවත එන්නා
යළි කිසි දින සිහිපත් නො කෙරේ.
ඔවුන්ගේ පියවරුන්ගේ අයුතුකම් උදෙසා
ඔහුගේ පුතුන් ඝාතනයට සූදානම් කරන්න.
ඔවුන් නැගිට, පොළොව උරුම කර නො ගත යුතු ය.
පුර නගරවලින් මිහි පිට නො පිරවිය යුතු ය.
“මම ඔවුන්ට එරෙහිව නැගිටින්නෙමි” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක්,
“බබිලෝනිය වෙතින් එහි නාමය ද ජීවත් ව ඉතිරි ව සිටින්නන් ද
එහි වංශය හා ජන පරපුර ද සිඳ දමන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“මම එය බකමූණන්ගේ වාසයක් බවට ද
ගොහොරු බිමක් බවට ද පත් කරන්නෙමි.
විනාශයේ කොස්සෙන් මම එය අතු ගා දමන්නෙමි” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.