යෙසායා 1:10-15

යෙසායා 1:10-15 SCV

සොදොම් පාලකයිනි, ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න. ගොමොරා ජනතාවනි, අපේ දෙවියන්වහන්සේගේ ඉගැන්වීමට සවන් දෙනු. “නුඹලාගේ නිමක් නැති පූජා, මට කුමකට දැ?” යි ස්වාමින්වහන්සේ පවසන සේක. බැටළු-දවන යාග පූජා හා තර කළ සතුන්ගේ මේදය, පමණටත් වඩා මට ඇත. ගවයින්ගේ, බැටළු පැටවුන්ගේ හා එළුවන්ගේ ලෙයේ, මට කිසි ප්‍රසන්නතාවක් නැත. මා අබියස පෙනී සිටින්නට එන කල, මගේ මිදුල් මෙසේ පාගන්නට ඔබට කීවේ කවුරු ද? නිරර්ථක පූජා ගෙන ඒම නවත්වන්න. ඔබේ සුවඳ දුම් පූජා මට පිළිකුලකි. නව සඳ හා සබත් ද සභා සමුළු යන ඔබේ දුෂ්ට එක් රැස්වීම් මට දැරිය නො හැක. ඔබේ නව සඳ උත්සවවලට හා ඔබේ නියමිත මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට බරක් වී ඇත. ඒවා දැරීමෙන්, මම වෙහෙසට පත් ව සිටිමි. ඔබේ අත් ඔබ දිගු කරන කල, මම ඔබ වෙතින් මගේ ඇස් සඟවා ගන්නෙමි. වඩ වඩාත් ඔබ යාච්ඤා කළත්, මම සවන් නො දෙන්නෙමි.