හබක්කුක් 3:11-19

හබක්කුක් 3:11-19 SCV

පියඹා යන ඔබගේ හීවල දීප්තියට හා දිදුලන ඔබේ හෙල්ලයේ විදුලි එළියට හිරුත්, සඳුත් අහසේ සිටි තැන්වල නැවතිණ. පොළොව හරහා බර අඩි තබමින්, ඔබ ගියේ උදහසිනි; ඔබ ජාතීන් පාගා දැමුවේ කෝපයෙනි. ඔබ පිටත් ව ආයේ, ඔබගේ ජනයා මුදන පිණිස ය; ඔබගේ අබිසෙස් ලද තැනැත්තා ගලවන පිණිස ය. දුෂ්ටකමේ දේශයේ නායකයා තළා දැමූ ඔබ හිස සිට දෙපතුල දක්වා ඔහු නිර්වස්ත්‍ර කළ සේක. සෙලා සැඟවී සිටින අසරණයින් ගිල දමන්නට කෑදරකමින් බලා සිටියා සේ, ඔහුගේ සටන්කාමින් මා විසුරුවන්නට කඩා පැන්න කල, ඔබ ඔහුගේ ම හෙල්ලයෙන් ඔහුගේ හිසට ඇන්න සේක. මහා ජල කඳ කලත්තවමින්, ඔබගේ අශ්වයින් මගින් ඔබ මුහුද මැඩලූ සේක. මට ඇසිණි. මගේ හද ගැසුණි. ඒ හඬින් මගේ තොල් කම්පන විය. දිරා යෑම, මගේ ඇටකටුවලට රිංගී ය. මගේ දෙකකුල් වැනුණේ ය. එහෙත්, අප ආක්‍රමණ කළ ජාතීන් පිටට විපත්ති දවස පැමිණෙන තෙක්, මම ඉවසිල්ලෙන් බලා හිඳිමි. අත්තික්කා ගස දළු නො ලෑවත්, මිදි වැල්වල මිදි පල නො වූවත්, ඔලීව අස්වැන්න අසාර වූවත්, කෙත්වත්වලින් අහර හිඟ වෙතත්, ගාලෙහි එළු-බැටළුවන් නැතිව ගියත්, පට්ටිවල ගවයින් නොමැති වූවත්, ස්වාමින්වහන්සේ තුළ මම ප්‍රීති ප්‍රමෝද වෙමි. මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ තුළ මම ප්‍රීති වන්නෙමි. පරමාධිපති ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය. උන්වහන්සේ මගේ පාද මුවකුගේ මෙන් සලසා, උස් තැන්හි නැග යන්නට මට සවිබල දෙන සේක.