උත්පත්ති 9:1-29

උත්පත්ති 9:1-29 SCV

ඉන්පසු නෝවාටත්, ඔහුගේ පුතුන්ටත් ආශිර්වාද කළ දෙවියන්වහන්සේ, ඔවුන් අමතමින්, “ඔබ සඵල ව, ගණනින් වැඩි වර්ධන වී, පොළොව පුරවාලන්න. ඔබ කෙරෙහි බියත්, තැතිගැන්මත් පොළොවේ සියලු සතුන් ද සියලු අහස් පක්ෂීන් ද හැම උරගයකු ද මුහුදේ සියලු මසුන් ද වෙත පවතිනු ඇත. ඔබගේ අත්වලට උන් බාර දී ඇත. සජීව, එහා මෙහා යන සියල්ල ඔබට ආහාර පිණිස වනු ඇත. මම ඔබට හරිත පලා දුන් සේ, දැන් මේ හැම දෙයක් ම දෙන්නෙමි. “එහෙත්, උන්ගේ ජීවය වන රුධිරය සහිත ව උන්ගේ මාංසය ඔබ අහරට නො ගත යුතු ය. ඔබගේ ජීව රුධිරය ගැන ගණන් දීමක් සත්තකින් ම මම නියම කරන්නෙමි. කවර සතකුගෙන් වුව ගණන් දීමක් මම නියම කරන්නෙමි. එසේ ම සෑම මිනිසකුගෙන් ම තවත් මිනිසකුගේ ජීවය ගැන මම ඔහුගේ ජීවය අය කරන්නෙමි. “කවරකු වුව, මිනිස් ලේ වගුරුවයි නම්, ඔහුගේ ලේ ද මිනිසකු විසින් ම වගුරුවනු ලැබේ. මන්ද දෙවියන්වහන්සේ මිනිසා මවන ලද්දේ, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙනි. ඔබ සඵල ව, ගණනින් වැඩි වර්ධන වන්න. පොළොවෙහි ජනාකීර්ණ වී, එහි වැඩි වර්ධන වන්න.” ඉන්පසු නෝවා ද ඔහුගේ පුතුන් ද ඇමතූ දෙවියන්වහන්සේ, “මෙන්න දැන් මා, මගේ ගිවිසුම පිහිටුවන්නේ ඔබ සමඟින් හා ඔබෙන් පසු, ඔබෙන් පැවත එන්නන් සමඟිනි. ඔබ සමඟ නැවෙන් පිටතට පැමිණි පක්ෂීන්, ඇති කරන සතුන් හා සියලු වන සතුන් යන මිහි පිට වෙසෙන සජීව හැම සතකු සමඟිනි. මගේ ගිවිසුම මම ඔබ සමඟ පිහිටුවමි. යළි කිසි කලෙක සියලු ජීවීන් ජලගැල්මකින් සිඳලනු නො ලැබේ. පොළොව වනසන ජලගැල්මක් මතු කවර කලෙක හෝ ඇති වන්නේ නැතැ” යි කී සේක. තවදුරටත් කතා කළ දෙවියන්වහන්සේ, “ඔබත්, ඔබ හා සිටින ජීවමාන හැම ජීවියකුත්, මාත් අතරේ මා පිහිටු වන ගිවිසුම වන මතු සියලු පරම්පරා උදෙසා වන ගිවිසුමේ ලකුණ මෙයයි. මගේ දේදුන්න මම වලාකුළෙහි තබා ඇත්තෙමි. මා හා පොළෝ වාසීන් අතර ගිවිසුමේ ලකුණ එයයි. පොළොවට ඉහළින් මා වලාකුළු ගෙනෙන කවර විටෙක වුව, ඒ වලාවන්හි දේදුන්න දිස්වන කල, ඔබ සමඟ ද හැම වර්ගයකට ම අයත් ජීවමාන සියලු සතුන් සමඟ ද මා කළ මගේ ගිවිසුම මම සිහි කරන්නෙමි. යළි කවරදාක වත් සියලු ජීවිත විනාශ කරනු පිණිස ජලය, ජලගැල්මකට පත් නො වන්නේ ය. වලාවන්හි දේදුන්න දිස්වන කවර විටෙක වුව, මම ඒ දෙස බලා, දෙවියන්වහන්සේත්, මිහි පිට සියලු වාර්ගික ජීවමාන සියලු සත්වයිනුත් අතරේ වූ සදාතන ගිවිසුම සිහි කරන්නෙමි” යි පැවසූ සේක. එබැවින්, නෝවා ඇමතූ දෙවියන්වහන්සේ, “මා හා මිහි පිට ජීවමාන සියල්ලන් අතරේ මා විසින් පිහිටු වන ලද ගිවිසුමේ ලකුණ මේ යැ” යි පැවසූ සේක. නැවෙන් පිටතට පැමිණි නෝවාගේ පුත්‍රයින් නම්, ෂේම්, හාම් හා යාෆෙත් ය. හාම්, කානාන්ගේ පියා ය. නෝවාගේ පුතුන් වූයේ මේ තිදෙනා ය. මිහිතලය පුරා ජනයා පැතිර ගියේ මොවුන්ගෙනි. නෝවා ගොවිතැන් කරන්නට පටන් ගෙන, මිදි වත්තක් වැවුවේ ය. ඔහු මිදි යුෂ බී, වෙරිමත් ව තම කූඩාරමෙහි නග්න ව වැතිර සිටියේ ය. කානාන්ගේ පියා වූ හාම්, තම පියාගේ නග්න භාවය දැක, පිටත සිටි තම සහෝදරයින් දෙදෙනාට ඒ වග දැන්වී ය. එහෙත් එවිට ෂේම් හා යාෆෙත් සළුවක් ගෙන, එය ඔවුන්ගේ උරහිස්හි තබා පස්සෙන් පස්සට ගොස්, තම පියාගේ නග්න භාවය වැසූහ. එහෙත් ඔවුන්ගේ මුහුණු ඉවත හැරී තිබූ බැවින් ඔවුන් තම පියාගේ නග්න භාවය දුටුවේ නැත. මිදි යුෂ වෙරි මත සිඳුණු පසු අවදි වූ නෝවා, තම බාල පුතු තමාට කළ දේ දැන, “කානාන්ට ශාප වේවා! ඔහු තම සොහොයුරනට නීච දාසයෙක් වේවා!” යි පැවසී ය. ඔහු මෙසේ ද පැවසී ය: “ෂේම්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! කානාන්, ෂේම්ගේ වහලකු වේවා! දෙවියන්වහන්සේ යාෆෙත්ගේ සීමා පුළුල් කරන සේක්වා! යාෆෙත්, ෂේම්ගේ කූඩාරම්වල වෙසේවා! කානාන්, යාෆෙත්ගේ දාසයා වේවා!” ජලගැල්මෙන් පසු නෝවා තුන්සිය පනස් වසරක් විසී ය. නෝවාගේ ආයු කාලය නවසිය පනස් වසරකි. ඉන්පසු ඔහු මිය ගියේ ය.