උත්පත්ති 8:3-21

උත්පත්ති 8:3-21 SCV

ජලය ක්‍රමයෙන් පොළොවෙන් බැස යන්නට විය. දවස් එකසිය පනහකට පසු ජල මට්ටම පහළ බැස්සේ ය. හත් වන මස දහහත් වන දින නැව අරාරට් කඳු මත නැවතිණ. දහ වන මස තෙක් ක්‍රමයෙන් ජලය බැස ගියේ ය. දහ වන මස පළමු වන දින, කඳු මුඳුන් දිස් වන්නට විය. සතළිස් දවසකට පසු, නෝවා නැවෙහි තමා සෑදූ කවුළුව ඇර, කපුටකු පිටතට යැවී ය. පොළොව මත ජලය සිඳෙන තුරු ඌ ඔබ මොබ පියාසැරී ය. පසුව නෝවා, පොළොව මතු පිටින් ජලය බැස ගියේ දැයි බලන පිණිස, පරෙවියකු පිටතට යැවී ය. එහෙත් පොළෝ තලය මුළුල්ල ම ජලයෙන් වැසී තිබූ බැවින්, පය ගසන්නට තැනක් හමු නො වූයෙන්, පරෙවියා නෝවා වෙත ආපසු නැවට ආවේ ය. එවිට ඔහු අත දිගු කර ඌ අල්ලා, තමා වෙත නැව තුළට ගත්තේ ය. තවත් හත් දවසක් බලා සිටි නෝවා, යළිත් නැවෙන් පිටතට පරෙවියා යැවී ය. පරෙවියා සවස ඔහු වෙත ආපසු පැමිණියේ ය. එවිට මෙන්න! උගේ හොටෙහි වූයේ අලුත කැඩූ අමු ඔලීව කොළයකි. එබැවින් පොළොවෙන් ජලය බැස ගොස් ඇති වග නෝවා දැනගත්තේ ය. තවත් හත් දවසක් බලා සිටි නෝවා යළිත් පරෙවියා පිටතට යැවී ය. එහෙත් මෙවර ඌ ආපසු ඔහු වෙත ආවේ නැත. නෝවාගේ ජීවිතයේ හයසිය එක් වන වසරේ පළමු මස පළමු දින වන විට, පොළොවෙන් ජලය සිඳී ගොස් තිබිණි. එවිට නෝවා නැවේ වැස්ම ඇර බැලුවේ ය. එවිට මෙන්න! පොළොව මතු පිට වියළී තිබිණි. දෙවන මස විසිහත් වන දින වන විට පොළොව මුළුමනින් ම වියළී තිබිණි. ඉන්පසු දෙවියන්වහන්සේ නෝවා අමතා මෙසේ කී සේක: “ඔබත්, ඔබේ භාර්යාවත්, ඔබේ පුතුන් හා ඔබේ පුතුන්ගේ භාර්යාවනුත් නැවෙන් පිටතට එන්න. ඔබ සමඟ සිටින හැම වර්ගයක ම ජීවමාන සතුන් වන පක්ෂීන් ද සිවුපාවුන් ද පොළොව පිට ඇදෙන සියලු උරගයින් ද පොළොවේ වැඩි වර්ධන වෙමින්, පොළොව පුරා සඵල ව බෝ වන පිණිස, ඔබ සමඟ උන් ද පිටතට ගෙනෙන්නැ” යි කී සේක. එවිට නෝවා තම පුතුන් ද තම භාර්යාව ද තම පුතුන්ගේ භාර්යාවන් ද කැටිව පිටතට ආවේ ය. සියලු සත්තු ද සියලු උරගයෝ ද සියලු පක්ෂීහු ද යන පොළොවෙහි ගැවසෙන සියල්ලෝ එක් එක් වර්ගය බැගින් නැවෙන් පිටතට ආහ. ඉන්පසු ස්වාමින්වහන්සේට පූජාසනයක් තැනූ නෝවා, සියලු පවිත්‍ර සතුන්ගෙන් හා සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන් ගෙන, දවන යාග පූජාවක් ඒ මත ඔප්පු කළේ ය. එහි ප්‍රසන්න සුවඳ විඳි ස්වාමින්වහන්සේ තමන්වහන්සේට ම මෙසේ කී සේක. “යළි කවර කලෙකවත් මනුෂ්‍යයා නිසා භූමියට ශාප නො කරමි. බාල කාලයේ පටන් ඔහුගේ හදේ හැම සිතිවිල්ලක් ම නපුර ය. වරක් මා කළ පරිද්දෙන් මතු කවර කලෙකවත් ජීවමාන සකල සත්වයින් මම විනාශ නො කරන්නෙමි.

උත්පත්ති 8:3-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය