උත්පත්ති 7:18-24

උත්පත්ති 7:18-24 SCV

ජලය බෙහෙවින් නැගි නැගී වැඩි වෙත් ම, නැව ජල මතු පිට පා විණි. මිහි මත වඩ වඩා නැගී ආ මහ ජල කඳ, අහසින් යට තිබූ උස් කඳු සියල්ල යට කර දැමී ය. එසේ නැගුණු ජල කඳ, කඳුවලට රියන් පහළොවක් ඉහළින් වැසී ගත්තේ ය. මිහි පිට ගැවසුණු සජීව සියල්ලන් වූ පක්ෂීහු, ගව-මහීෂාදී සත්තු, වන සත්තු හා පොළොව පිට ඇදෙන සියලු ජීවීන් ද මුළු මිනිස් වර්ගයා ද විනාශ වූහ. නාස් පුඩුවල ජීවන හුස්ම ඇති ව ගොඩ බිම සිටි සැවොම මළහ. උන්වහන්සේ, මිනිසුන් සහ සතුන් ද බිම බඩගාන උරගයන් හා අහස් පක්ෂීන් ද පොළොවෙන් තුරන් කර දැමූ සේක. පොළෝ තලයේ විසූ ජීවමාන සියල්ල සහමුලින් ම විනාශ කෙරිණි. නෝවා පමණක් නැවෙහි ඔහු හා සිටි අය සමඟ ඉතිරි විය. ජලය දින එකසිය පනහක් ම පොළොව යට කර පැවතියේ ය.