උත්පත්ති 49
49
යාකොබ් තම පුතුනට ආශිර්වාද කරයි
1ඉන්පසු, යාකොබ් තම පුතුන් කැඳවා, “මා වටා රැස් වන්න. මතු දවස්වල ඔබට සිදුවන දෑ මා ඔබට කියා දෙන්නම්” යි කීවේ ය.
2“එම්බා යාකොබ්ගේ පුත්‍රයිනි, එක් රැස් වී, සවන් දෙන්න.
ඔබේ පියා වන ඉශ්රායෙල්ට කන් දෙන්න.
3“රූබෙන්, නුඹ මගේ කලුඳුලා ය;
මගේ බල වික්‍රමය ය. මගේ සවියේ නාඹුල් පලය ය.
ගෞරවයේ විශිෂ්ටත්වය ය. බලයේ විශිෂ්ටත්වය ය.
4ජලය මෙන් මැඩලිය නො හැකි නුඹට තවදුරටත් විශිෂ්ටත්වය නො ලැබේ.
මන්ද නුඹ, නුඹේ පියාගේ යහනට වැද,
මගේ ම ඇඳට නැග, එය කෙලෙසූ බැවිනි.
5“සිමියොන් හා ලෙවී සහෝදරයෝ ය.
ඔවුන්ගේ අසිපත්, සැහැසිකමේ ආයුධ වේ.
6ඔවුන්ගේ මන්ත්රණයට මගේ ජීවය ඇතුළු නො වේවා!
ඔවුන්ගේ සමාගමට මා නො බැඳේවා!
මන්ද ඔවුන් තම කෝපයෙන්, මිනිසුන් මැරූ බැවිනි.
තම හිතු මනාපෙට, ගොනුන්ගේ කලවා නහර කැපූ බැවිනි.
7ඒ සා රුදුරු ඔවුන්ගේ කෝපයටත්,
ඒ සා කුරිරු ඔවුන්ගේ ක්‍රෝධයටත් ශාප වේවා!
යාකොබ් තුළ මම ඔවුන් බෙදා හරින්නෙමි.
ඉශ්රායෙල් ඇතුළත මම ඔවුන් විසුරුවා දමන්නෙමි.
8“එම්බා යූදා, ඔබේ සහෝදරයෝ ඔබ පසසන්නාහ.
ඔබේ අත, ඔබේ සතුරන්ගේ ගෙල මත තබනු ඇත.
ඔබේ පියාගේ පුතුන් ඔබට වැඳ වැටෙනු ඇත.
9යූදා සිංහ පැටවෙකි.
මා පුත, ගොදුර කා නුඹ හැරී යයි.
ඔහු බිම වැතිරෙන්නේත්, හාන්සි වී සිටින්නේත් සිංහයකු මෙනි;
සිංහ ධේනුවක මෙනි. ඔහු නැගිටුවන්නට සමතා කවුරු ද?
10ඊට හිමිකරු පැමිණෙන තෙක්,
යූදා කෙරෙන්, ජයකොන්තය පහව නො යේ:
ඔහුගේ පා අතරින් පාලකයාගේ යෂ්ටිය ද පහව නො යේ.
ජාතීන්ගේ කීකරුකම ද ඔහුට ය.
11ඔහු තම බූරු වස්සා මිදි වැලක ගැට ගසා,
තම බූරු නාම්බා හොඳ ම මිදි අත්තේ බඳියි.
ඔහු තම ඇඳුම් මිදි පැනින් ද
තම කබා මිදි යුෂයෙන් ද සෝදනු ඇත.
12ඔහුගේ ඇස් මිදි යුෂවලට වඩා තද පැහැ ගනී.
ඔහුගේ දත් කිරිවලට වඩා සුදු පැහැ වෙයි.
13“සාබුලොන් මුහුදුබඩ වාසය කරනු ඇත.
ඔහු නැව් තොටක් බවට පත් වේ.
ඔහුගේ දේශ සීමා, සීදොන් අසල වෙයි.
14“ඉස්සාකර්, සෑදල මළු අතර වැතිර සිටින
ශක්තිමත් බූරුවෙකි.
15තම නවාතැන් පොළ කොතරම් කදිමද යන්නත්,
ඒ දේශය කොතරම් ප්‍රසන්න ද යන්නත් දුටු කල,
ඔහු බර වැඩට උර දී,
වහල් වැඩට යටත් වන්නේ ය.
16“ඉශ්රායෙල් එක් ගෝත්‍ර වංශයක් වශයෙන්,
දාන් තම ජනතාවගේ යුක්තිය පසිඳලනු ඇත.
17දාන් පාර අයිනේ සර්පයෙක් වෙයි.
මග දිගේ සිටින පොළඟෙක් වෙයි.
අසරුවා පස්සට ඇද වැටෙන ලෙස
ඔහු අශ්වයාගේ විලුඹ හපා කයි.
18“අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ගැලවීම ගැන මම බලා හිඳිමි.
19“ආක්රමණිකයෝ ගාද්#49:19 “ආක්රමණිකයෝ” යන අර්ථය දෙන උච්චාරණයක් ඇත. ආක්‍රමණ කරති.
එහෙත් ඔහු, ඔවුන්#49:19 ඔවුන් හෙවත් ඔවුන්ගේ විලුඹට පහර දෙනු ඇත. ලුහුබැඳ පහර දෙනු ඇත.
20“ආෂෙර්ගේ ආහාර, සමෘද්ධියෙන් යුතු වෙයි.
රජකුට නිසි රසමසවුළු ඔහු සපයයි.
21“නෆ්තලී, නිදහස් කරන ලද මුව දෙනක.
ඈ, ශෝබන මුව පොව්වන් බිහි කරන්නී ය.
22“යෝසෙප් පලබර මිදි වැලකි.
උල්පතක් ළඟ පලබර මිදි වැලකි.
එහි අතු, තාප්ප වැටටත් උඩින් නැග යයි.
23දුනුවායෝ තදබල ලෙස ඔහුට පහර දුන්හ;
ඔවුහු ඔහුට විද, එදිරිවාදිකම් කරන්නට වන්හ.
24එහෙත් ඔහුගේ දුන්න නො වෙනස් ව පැවතිණ.
ඔහුගේ බාහුව ද කඩිසර විය.
එසේ වූයේ, යාකොබ්ගේ පරාක්‍රමයාණන්ගේ හස්තය නිසා ය;
ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් වන එඬේරාණන් නිසා ය;
25ඔබට උපකාර කරන ඔබේ පියාගේ දෙවියන්වහන්සේ නිසා ය;
ඉහළ අහසේ ආශිර්වාදවලින් ද
පහළ ගැඹුරේ ආශිර්වාදවලින් ද
පියයුරුවල හා දරු ගැබ්හි ආශිර්වාදවලින් ද
ඔබට ආශිර්වාද කරන සර්ව පරාක්‍රමයාණන් නිසා ය.
26ඔබේ පියාගේ ආශිර්වාද
ඉපැරණි කඳුවල ආශිර්වාදවලට වඩා උතුම් ය.
සදාතනික හෙල්වල දීමනාවන්ට වඩා උතුම් ය.
මේ හැම දෑ, යෝසෙප්ගේ හිස මත වේවා!
තම සොහොයුරන්ගෙන් වෙන් ව සිටින තැනැත්තාගේ නළල මත වේවා!
27“බෙන්යමින් ගිජු වෘකයෙකි.
උදෑසන ඔහු ගොදුර ගිල දමයි.
සවස ඔහු කොල්ලය බෙදා ගනී.”
28ඒ සැවොම ඉශ්රායෙල් දොළොස් ගෝත්‍ර වංශ වේ. ඔවුන්ගේ පියා ඔවුන්ට ආශිර්වාද කරමින් පැවසුවේ එසේ ය. ඔහු ඔවුන් එකිනෙකාට යෝග්‍ය ආශිර්වාදය පිරිනැමුවේ ය.
යාකොබ්ගේ මරණය
29ඉන්පසු ඔහු ඔවුන්ට අණ කරමින්, “මා මගේ ජනයා අතරට එක් වීම, ළං වෙලා. හිත්තීය එෆ්රොන්ගේ ඉඩමේ ඇති ගුහාවෙහි, මගේ පියවරුන් අතර මා වළලන්න. 30එම ගුහාව කානාන් දේශයේ මම්රේ අසල මක්පේලා ඉඩමෙහි වෙයි. එය, හිත්තීය එෆ්‍රොන්ගෙන්, සොහොන් පොළක් වශයෙන් ආබ්‍රහම් මිලයට ගෙන තිබූ ඉඩම් කැබැල්ලයි. 31ආබ්‍රහම් හා ඔහුගේ බිරිඳ, සාරා වළලන ලද්දේ එහි ය. ඊසාක් හා ඔහුගේ බිරිඳ, රෙබෙකා වළලන ලද්දේ එහි ය. මවිසින් ලෙයා වළලන ලද්දේත් එහි ය. 32එම ඉඩමත් එහි වූ ගුහාවත්, මිලයට ගන්නා ලද්දේ හිත්තිවරුන්ගෙනි” යි කීවේ ය.
33යාකොබ් මෙසේ තම පුතුනට අණ දී, තම දෙපා යහන මතට ගෙන, අවසන් හුස්ම හෙළා, මිය ගිය තම ජනයා අතරට එක් වුණේ ය.
දැනට තෝරාගෙන ඇත:
උත්පත්ති 49: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.