උත්පත්ති 44

44
යෝසෙප් තම සොහොයුරන් පිරික්සීම
1ඉන්පසු යෝසෙප් තම ගෘහ බාරකරුට නියෝග කරමින්, “ඒ මිනිසුන්ට රැගෙන යා හැකි තරම් උපරිමයෙන් ඔවුන්ගේ ගෝණිවල ආහාර පුරවන්න. එක් එක් අයගේ මුදල් ඒ අයගේ ගෝණි කටේ තබන්න. 2බාලයාගේ ගෝණි කටේ මගේ කුසලාන වන රිදී කුසලාන තබා, ඔහුගේ ධාන්‍ය සඳහා වූ මුදලත් තබන්නැ” යි කීවේ ය. යෝසෙප් කී පරිදි ඔහු කළේ ය.
3උදයට පහන් වන වේලේ, ඒ මිනිස්සු ඔවුන්ගේ බූරුවන් ද සමඟ පිටත් කර හරින ලදහ. 4ඔවුන් නගරයේ සිට වැඩි ඈතක යන්නට කලින්, තම ගෘහ-බාරකරු ඇමතූ යෝසෙප්, “හනික ඔවුන් ලුහුබැඳ යන්න; ඔවුන්ට ළඟා වූ කල, ඔවුන්ට කතා කොට, ‘කළ හොඳට නුඹලා නො හොඳින් සලකන්නේ කිම ද? 5මගේ ස්වාමියා පානය කරන්නේත්, පේන කීමට යොදා ගන්නේත් මේ කුසලාන නො වේ ද? නුඹලා කළ වැඩේ නපුරකි’ කියා කියනු” යි කීවේ ය.
6ඔහු ඔවුන් වෙත ළඟා වී, ඒ වචන ම ඔවුන්ට කීවේ ය. 7එවිට ඔවුහු පිළිතුරු දෙමින්, “මගේ ස්වාමියා මෙහෙම දෙයක් කියන්නේ ඇයි? එවැනි දෙයක් කිරීම ඔබගේ සේවකයින්ගෙන් දුරු වේවා! 8බලන්න! අපේ ගෝණි කටවල තිබී හමු වූ මුදල් පවා, කානාන් දේශයේ සිට අප ඔබ වෙත ගෙන ආවා; එසේ නම් රන් හෝ රිදී හෝ ඔබේ ස්වාමියාගේ නිවසින් අප සොරා ගන්නේ කුමට ද? 9ඔබේ සේවක අපෙන් කවරකු ළඟ තිබී එය හමු වුවහොත්, ඔහු මියේවා. සෙසු අප ද මගේ ස්වාමියාගේ දාසයින් වෙත්වා!” යි කීහ.
10ඔහු පිළිතුරු දෙමින්, “හොඳයි; ඔබ කී ලෙස ම වේවා. යමකු ළඟ තිබී එය හමු වූවොත්, ඔහු පමණක් මගේ දාසයා වුණා වේ. අනෙක් අය වරදින් නිදහස්” යැයි කීවේ ය.
11ඔවුන් හැම කෙනෙක් ම තම ගෝණිය වහා බිමට බා, ඒවා විවර කළහ. 12එවිට ඔහු පරීක්ෂා කරන්නට වී, වැඩිමලාගෙන් පටන් ගෙන බාලයා දක්වා බැලී ය. කුසලාන, බෙන්යමින්ගේ ගෝණිය තුළ තිබී හමු විය. 13එකල ඔවුහු තමන් හැඳිවත් ඉරා ගත්හ. ඉන්පසු තම බූරුවන් පිට බඩු පටවාගත් ඔවුහු සැවොම, නගරය වෙත පෙරළා ගමන් ගත්හ.
14යූදා හා ඔහුගේ සහෝදරයින් යෝසෙප්ගේ නිවසට පැමිණෙන තුරුත් ඔහු සිටියේ නිවසේ ය. ඔවුහු, ඔහු ඉදිරියේ බිම පෙරළී, වැඳ වැටුණහ. 15යෝසෙප් ඔවුන් අමතමින්, “මොකක් ද මේ නුඹලා කළේ? මා වැනි මිනිසකුට පේන කියන්නට හැකි වග නුඹලා දන්නේ නැද්දැ?” යි පැවසී ය.
16එවිට යූදා කතා කරමින්, “මගේ ස්වාමියාට අප මොනවා කියන්න ද? මොනවා පවසන්න ද? අපේ නිදොස්කම අප කොහොම ඔප්පු කරන්න ද? ඔබේ සේවකයින්ගේ වරද දෙවියන්වහන්සේ පෙන්වා දී තිබේ. සැබවින් ම දැන් අප, මගේ ස්වාමියාගේ දාසයොයි. මේ අපත්, කුසලාන තමන් ළඟ තිබී හමු වූ තැනැත්තාත් යැ” යි පැවසී ය.
17එහෙත් යෝසෙප් පිළිතුරු දෙමින්, “එවැනි දෙයක් කිරීම, මා වෙතින් දුරු වේවා. කුසලාන තමා ළඟ තිබී හමු වූ කෙනා පමණක් මගේ දාසයා වුණා වේ. ඔබ අනෙක් අයට ඔබේ පියා වෙත සාමයෙන් යා හැකි” යි කීවේ ය.
18එවිට යූදා, ඔහු වෙත ළං වී, ඔහු අමතමින්, “අහෝ මා ස්වාමිනි, මා ස්වාමියාට වචනයක් පවසන්නට ඔබේ මෙහෙකරුට අවසර! ඔබතුමා පාරාවෝ හා සමාන වූවත්, ඔබේ මෙහෙකරු හා කෝප නො වන්න. 19මා ස්වාමියා තම මෙහෙකරුවන් අමතමින්, ‘නුඹලාට පියකු සිටිනවා ද? සහෝදරයකු සිටිනවා දැ?’ යි ඇසුවා. 20අප ඊට පිළිතුරු දෙමින්, ‘වියපත් පියකු ද ඔහුගේ මහලු වයසේ ඔහුට උපන් බාල පුතු වන සහෝදරයකු ද අපට සිටී. ඔහුගේ සහෝදරයා මිය ගොසින්. ඔහුගේ මව බිහි කළ පුතුන්ගෙන් ඉතිරි ව සිටින්නේ මොහු පමණි. එබැවින් ඔහුගේ පියා ඔහුට ප්‍රේම කරති’ යි කීවා.
21“එවිට ඔබ ඔබගේ සේවකයින් අමතමින්, ‘මගේ ම දෑසින් ඔහු දැක ගන්න පිණිස, මා වෙත ඔහු කැඳවාගෙන එන්නැ’ යි කීවා. 22මා ස්වාමියාට පිළිතුරු දෙමින්, ‘තම පියා හැර දා එන්නට ළමයාට නුපුළුවන. ඔහු පියා හැර ආවොත්, ඔහුගේ පියා මිය යනු ඇතැ’ යි අප කීවා. 23එහෙත් ඔබ ඔබේ සේවකයින් අමතමින්, ‘නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස, නුඹලා යළි මගේ මුහුණ දකිනවා නො වේ’ යි කීවා. 24ඔබේ සේවකයා වන මගේ පියා වෙත අප ආපසු ගිය කල, මගේ ස්වාමියා කී දෑ අප ඔහුට කීවා.
25“ඉන්පසු අපගේ පියා කතා කොට, ‘නැවත ගොස්, තවත් ආහාර ටිකක් මිලයට ගන්නැ’ යි කීවා. 26එහෙත් අප පිළිතුරු දෙමින්, ‘අපට එහි යන්නට බැහැ. අපේ බාල සහෝදරයා අප හා එනවා නම් පමණක්, අප එහි යනවා. අපේ බාල සහෝදරයා අප හා නොමැතිව අපට ඒ මිනිසාගේ මුහුණ බලන්නට බැරි යැ’ යි කීවා.
27“එවිට, ඔබගේ සේවකයා වන මගේ පියා අප අමතමින්, ‘මගේ බිරිඳ පුතුන් දෙදෙනකු මට බිහි කර දුන් වග ඔබ දන්නවා. 28ඉන් එක් කෙනෙක් මගෙන් වෙන් ව ගියා. “නිසැකයෙන් ම ඔහු කෑලිවලට ඉරා දමනු ලබන්නට ඇතැ” යි මා කීවා. එතැන් පටන් මා ඔහු දැක්කේ නෑ. 29නුඹලා මොහුත්, මා වෙතින් ගත් කල, ඔහුට යම් අනතුරක් වුවහොත්, මේ මහලු වයසේ දුක් විපත්තියෙන් මිනී වළට යන්නට නුඹලා මට මග පාදතැ’ යි කීවා.
30“එබැවින් දැන්, ඔබගේ සේවක මගේ පියා වෙත මා ආපසු යන කල, ළමයා අප සමඟ නො වුවහොත්, ඔහු ළමයා හා පණට පණ බැඳී ඇති බැවින්, 31ළමයා අප සමඟ නැති වග දුටු කල, ඔහු මිය යනු ඇත. මෙසේ, ඔබේ සේවක අප විසින් ඔබේ සේවක අපේ පියා ඔහුගේ මහලු වයසේදී සෝ සන්තාපයෙන් මිනී වළට පමුණුවනු ඇත. 32ඔබේ සේවක මම, ළමයාගේ ආරක්ෂාව ගැන මගේ පියාට ඇප වුණෙමි. මම ඔහු අමතමින්, ‘මා යළි ඔබ වෙත ඔහු කැඳවාගෙන නාවොත්, මා පියතුමනි, මගේ මුළු ජීවිත කාලයට ම එහි දෝෂය මම දරන්නෙමි’ යි කීවා.
33“එබැවින් දැන්, ළමයා වෙනුවට මගේ ස්වාමියාගේ දාසයා වශයෙන් මෙහි නවතින්නට ඔබගේ සේවකයාට කරුණාකර ඉඩ දුන මැනවි. ළමයාට ඔහුගේ සහෝදරයන් සමඟ ආපසු යන්නට ඉඩ දෙනු මැනවි. 34ළමයා මා සමඟ නොමැත්තේ නම්, මගේ පියා වෙත මා ආපසු යන්නේ කොහොම ද? නැහැ! මගේ පියා පිට පැමිණෙන දුක් විපත්තිය දැකීමට මට බැරි යැ” යි පැවසී ය.

දැනට තෝරාගෙන ඇත:

උත්පත්ති 44: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න