උත්පත්ති 44:18-34

උත්පත්ති 44:18-34 SCV

එවිට යූදා, ඔහු වෙත ළං වී, ඔහු අමතමින්, “අහෝ මා ස්වාමිනි, මා ස්වාමියාට වචනයක් පවසන්නට ඔබේ මෙහෙකරුට අවසර! ඔබතුමා පාරාවෝ හා සමාන වූවත්, ඔබේ මෙහෙකරු හා කෝප නො වන්න. මා ස්වාමියා තම මෙහෙකරුවන් අමතමින්, ‘නුඹලාට පියකු සිටිනවා ද? සහෝදරයකු සිටිනවා දැ?’ යි ඇසුවා. අප ඊට පිළිතුරු දෙමින්, ‘වියපත් පියකු ද ඔහුගේ මහලු වයසේ ඔහුට උපන් බාල පුතු වන සහෝදරයකු ද අපට සිටී. ඔහුගේ සහෝදරයා මිය ගොසින්. ඔහුගේ මව බිහි කළ පුතුන්ගෙන් ඉතිරි ව සිටින්නේ මොහු පමණි. එබැවින් ඔහුගේ පියා ඔහුට ප්‍රේම කරති’ යි කීවා. “එවිට ඔබ ඔබගේ සේවකයින් අමතමින්, ‘මගේ ම දෑසින් ඔහු දැක ගන්න පිණිස, මා වෙත ඔහු කැඳවාගෙන එන්නැ’ යි කීවා. මා ස්වාමියාට පිළිතුරු දෙමින්, ‘තම පියා හැර දා එන්නට ළමයාට නුපුළුවන. ඔහු පියා හැර ආවොත්, ඔහුගේ පියා මිය යනු ඇතැ’ යි අප කීවා. එහෙත් ඔබ ඔබේ සේවකයින් අමතමින්, ‘නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස, නුඹලා යළි මගේ මුහුණ දකිනවා නො වේ’ යි කීවා. ඔබේ සේවකයා වන මගේ පියා වෙත අප ආපසු ගිය කල, මගේ ස්වාමියා කී දෑ අප ඔහුට කීවා. “ඉන්පසු අපගේ පියා කතා කොට, ‘නැවත ගොස්, තවත් ආහාර ටිකක් මිලයට ගන්නැ’ යි කීවා. එහෙත් අප පිළිතුරු දෙමින්, ‘අපට එහි යන්නට බැහැ. අපේ බාල සහෝදරයා අප හා එනවා නම් පමණක්, අප එහි යනවා. අපේ බාල සහෝදරයා අප හා නොමැතිව අපට ඒ මිනිසාගේ මුහුණ බලන්නට බැරි යැ’ යි කීවා. “එවිට, ඔබගේ සේවකයා වන මගේ පියා අප අමතමින්, ‘මගේ බිරිඳ පුතුන් දෙදෙනකු මට බිහි කර දුන් වග ඔබ දන්නවා. ඉන් එක් කෙනෙක් මගෙන් වෙන් ව ගියා. “නිසැකයෙන් ම ඔහු කෑලිවලට ඉරා දමනු ලබන්නට ඇතැ” යි මා කීවා. එතැන් පටන් මා ඔහු දැක්කේ නෑ. නුඹලා මොහුත්, මා වෙතින් ගත් කල, ඔහුට යම් අනතුරක් වුවහොත්, මේ මහලු වයසේ දුක් විපත්තියෙන් මිනී වළට යන්නට නුඹලා මට මග පාදතැ’ යි කීවා. “එබැවින් දැන්, ඔබගේ සේවක මගේ පියා වෙත මා ආපසු යන කල, ළමයා අප සමඟ නො වුවහොත්, ඔහු ළමයා හා පණට පණ බැඳී ඇති බැවින්, ළමයා අප සමඟ නැති වග දුටු කල, ඔහු මිය යනු ඇත. මෙසේ, ඔබේ සේවක අප විසින් ඔබේ සේවක අපේ පියා ඔහුගේ මහලු වයසේදී සෝ සන්තාපයෙන් මිනී වළට පමුණුවනු ඇත. ඔබේ සේවක මම, ළමයාගේ ආරක්ෂාව ගැන මගේ පියාට ඇප වුණෙමි. මම ඔහු අමතමින්, ‘මා යළි ඔබ වෙත ඔහු කැඳවාගෙන නාවොත්, මා පියතුමනි, මගේ මුළු ජීවිත කාලයට ම එහි දෝෂය මම දරන්නෙමි’ යි කීවා. “එබැවින් දැන්, ළමයා වෙනුවට මගේ ස්වාමියාගේ දාසයා වශයෙන් මෙහි නවතින්නට ඔබගේ සේවකයාට කරුණාකර ඉඩ දුන මැනවි. ළමයාට ඔහුගේ සහෝදරයන් සමඟ ආපසු යන්නට ඉඩ දෙනු මැනවි. ළමයා මා සමඟ නොමැත්තේ නම්, මගේ පියා වෙත මා ආපසු යන්නේ කොහොම ද? නැහැ! මගේ පියා පිට පැමිණෙන දුක් විපත්තිය දැකීමට මට බැරි යැ” යි පැවසී ය.