උත්පත්ති 44:1-34

උත්පත්ති 44:1-34 SCV

ඉන්පසු යෝසෙප් තම ගෘහ බාරකරුට නියෝග කරමින්, “ඒ මිනිසුන්ට රැගෙන යා හැකි තරම් උපරිමයෙන් ඔවුන්ගේ ගෝණිවල ආහාර පුරවන්න. එක් එක් අයගේ මුදල් ඒ අයගේ ගෝණි කටේ තබන්න. බාලයාගේ ගෝණි කටේ මගේ කුසලාන වන රිදී කුසලාන තබා, ඔහුගේ ධාන්‍ය සඳහා වූ මුදලත් තබන්නැ” යි කීවේ ය. යෝසෙප් කී පරිදි ඔහු කළේ ය. උදයට පහන් වන වේලේ, ඒ මිනිස්සු ඔවුන්ගේ බූරුවන් ද සමඟ පිටත් කර හරින ලදහ. ඔවුන් නගරයේ සිට වැඩි ඈතක යන්නට කලින්, තම ගෘහ-බාරකරු ඇමතූ යෝසෙප්, “හනික ඔවුන් ලුහුබැඳ යන්න; ඔවුන්ට ළඟා වූ කල, ඔවුන්ට කතා කොට, ‘කළ හොඳට නුඹලා නො හොඳින් සලකන්නේ කිම ද? මගේ ස්වාමියා පානය කරන්නේත්, පේන කීමට යොදා ගන්නේත් මේ කුසලාන නො වේ ද? නුඹලා කළ වැඩේ නපුරකි’ කියා කියනු” යි කීවේ ය. ඔහු ඔවුන් වෙත ළඟා වී, ඒ වචන ම ඔවුන්ට කීවේ ය. එවිට ඔවුහු පිළිතුරු දෙමින්, “මගේ ස්වාමියා මෙහෙම දෙයක් කියන්නේ ඇයි? එවැනි දෙයක් කිරීම ඔබගේ සේවකයින්ගෙන් දුරු වේවා! බලන්න! අපේ ගෝණි කටවල තිබී හමු වූ මුදල් පවා, කානාන් දේශයේ සිට අප ඔබ වෙත ගෙන ආවා; එසේ නම් රන් හෝ රිදී හෝ ඔබේ ස්වාමියාගේ නිවසින් අප සොරා ගන්නේ කුමට ද? ඔබේ සේවක අපෙන් කවරකු ළඟ තිබී එය හමු වුවහොත්, ඔහු මියේවා. සෙසු අප ද මගේ ස්වාමියාගේ දාසයින් වෙත්වා!” යි කීහ. ඔහු පිළිතුරු දෙමින්, “හොඳයි; ඔබ කී ලෙස ම වේවා. යමකු ළඟ තිබී එය හමු වූවොත්, ඔහු පමණක් මගේ දාසයා වුණා වේ. අනෙක් අය වරදින් නිදහස්” යැයි කීවේ ය. ඔවුන් හැම කෙනෙක් ම තම ගෝණිය වහා බිමට බා, ඒවා විවර කළහ. එවිට ඔහු පරීක්ෂා කරන්නට වී, වැඩිමලාගෙන් පටන් ගෙන බාලයා දක්වා බැලී ය. කුසලාන, බෙන්යමින්ගේ ගෝණිය තුළ තිබී හමු විය. එකල ඔවුහු තමන් හැඳිවත් ඉරා ගත්හ. ඉන්පසු තම බූරුවන් පිට බඩු පටවාගත් ඔවුහු සැවොම, නගරය වෙත පෙරළා ගමන් ගත්හ. යූදා හා ඔහුගේ සහෝදරයින් යෝසෙප්ගේ නිවසට පැමිණෙන තුරුත් ඔහු සිටියේ නිවසේ ය. ඔවුහු, ඔහු ඉදිරියේ බිම පෙරළී, වැඳ වැටුණහ. යෝසෙප් ඔවුන් අමතමින්, “මොකක් ද මේ නුඹලා කළේ? මා වැනි මිනිසකුට පේන කියන්නට හැකි වග නුඹලා දන්නේ නැද්දැ?” යි පැවසී ය. එවිට යූදා කතා කරමින්, “මගේ ස්වාමියාට අප මොනවා කියන්න ද? මොනවා පවසන්න ද? අපේ නිදොස්කම අප කොහොම ඔප්පු කරන්න ද? ඔබේ සේවකයින්ගේ වරද දෙවියන්වහන්සේ පෙන්වා දී තිබේ. සැබවින් ම දැන් අප, මගේ ස්වාමියාගේ දාසයොයි. මේ අපත්, කුසලාන තමන් ළඟ තිබී හමු වූ තැනැත්තාත් යැ” යි පැවසී ය. එහෙත් යෝසෙප් පිළිතුරු දෙමින්, “එවැනි දෙයක් කිරීම, මා වෙතින් දුරු වේවා. කුසලාන තමා ළඟ තිබී හමු වූ කෙනා පමණක් මගේ දාසයා වුණා වේ. ඔබ අනෙක් අයට ඔබේ පියා වෙත සාමයෙන් යා හැකි” යි කීවේ ය. එවිට යූදා, ඔහු වෙත ළං වී, ඔහු අමතමින්, “අහෝ මා ස්වාමිනි, මා ස්වාමියාට වචනයක් පවසන්නට ඔබේ මෙහෙකරුට අවසර! ඔබතුමා පාරාවෝ හා සමාන වූවත්, ඔබේ මෙහෙකරු හා කෝප නො වන්න. මා ස්වාමියා තම මෙහෙකරුවන් අමතමින්, ‘නුඹලාට පියකු සිටිනවා ද? සහෝදරයකු සිටිනවා දැ?’ යි ඇසුවා. අප ඊට පිළිතුරු දෙමින්, ‘වියපත් පියකු ද ඔහුගේ මහලු වයසේ ඔහුට උපන් බාල පුතු වන සහෝදරයකු ද අපට සිටී. ඔහුගේ සහෝදරයා මිය ගොසින්. ඔහුගේ මව බිහි කළ පුතුන්ගෙන් ඉතිරි ව සිටින්නේ මොහු පමණි. එබැවින් ඔහුගේ පියා ඔහුට ප්‍රේම කරති’ යි කීවා. “එවිට ඔබ ඔබගේ සේවකයින් අමතමින්, ‘මගේ ම දෑසින් ඔහු දැක ගන්න පිණිස, මා වෙත ඔහු කැඳවාගෙන එන්නැ’ යි කීවා. මා ස්වාමියාට පිළිතුරු දෙමින්, ‘තම පියා හැර දා එන්නට ළමයාට නුපුළුවන. ඔහු පියා හැර ආවොත්, ඔහුගේ පියා මිය යනු ඇතැ’ යි අප කීවා. එහෙත් ඔබ ඔබේ සේවකයින් අමතමින්, ‘නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස, නුඹලා යළි මගේ මුහුණ දකිනවා නො වේ’ යි කීවා. ඔබේ සේවකයා වන මගේ පියා වෙත අප ආපසු ගිය කල, මගේ ස්වාමියා කී දෑ අප ඔහුට කීවා. “ඉන්පසු අපගේ පියා කතා කොට, ‘නැවත ගොස්, තවත් ආහාර ටිකක් මිලයට ගන්නැ’ යි කීවා. එහෙත් අප පිළිතුරු දෙමින්, ‘අපට එහි යන්නට බැහැ. අපේ බාල සහෝදරයා අප හා එනවා නම් පමණක්, අප එහි යනවා. අපේ බාල සහෝදරයා අප හා නොමැතිව අපට ඒ මිනිසාගේ මුහුණ බලන්නට බැරි යැ’ යි කීවා. “එවිට, ඔබගේ සේවකයා වන මගේ පියා අප අමතමින්, ‘මගේ බිරිඳ පුතුන් දෙදෙනකු මට බිහි කර දුන් වග ඔබ දන්නවා. ඉන් එක් කෙනෙක් මගෙන් වෙන් ව ගියා. “නිසැකයෙන් ම ඔහු කෑලිවලට ඉරා දමනු ලබන්නට ඇතැ” යි මා කීවා. එතැන් පටන් මා ඔහු දැක්කේ නෑ. නුඹලා මොහුත්, මා වෙතින් ගත් කල, ඔහුට යම් අනතුරක් වුවහොත්, මේ මහලු වයසේ දුක් විපත්තියෙන් මිනී වළට යන්නට නුඹලා මට මග පාදතැ’ යි කීවා. “එබැවින් දැන්, ඔබගේ සේවක මගේ පියා වෙත මා ආපසු යන කල, ළමයා අප සමඟ නො වුවහොත්, ඔහු ළමයා හා පණට පණ බැඳී ඇති බැවින්, ළමයා අප සමඟ නැති වග දුටු කල, ඔහු මිය යනු ඇත. මෙසේ, ඔබේ සේවක අප විසින් ඔබේ සේවක අපේ පියා ඔහුගේ මහලු වයසේදී සෝ සන්තාපයෙන් මිනී වළට පමුණුවනු ඇත. ඔබේ සේවක මම, ළමයාගේ ආරක්ෂාව ගැන මගේ පියාට ඇප වුණෙමි. මම ඔහු අමතමින්, ‘මා යළි ඔබ වෙත ඔහු කැඳවාගෙන නාවොත්, මා පියතුමනි, මගේ මුළු ජීවිත කාලයට ම එහි දෝෂය මම දරන්නෙමි’ යි කීවා. “එබැවින් දැන්, ළමයා වෙනුවට මගේ ස්වාමියාගේ දාසයා වශයෙන් මෙහි නවතින්නට ඔබගේ සේවකයාට කරුණාකර ඉඩ දුන මැනවි. ළමයාට ඔහුගේ සහෝදරයන් සමඟ ආපසු යන්නට ඉඩ දෙනු මැනවි. ළමයා මා සමඟ නොමැත්තේ නම්, මගේ පියා වෙත මා ආපසු යන්නේ කොහොම ද? නැහැ! මගේ පියා පිට පැමිණෙන දුක් විපත්තිය දැකීමට මට බැරි යැ” යි පැවසී ය.

මෙයට අදාළ වීඩියෝ

උත්පත්ති 44:1-34 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය