ඊජිප්තුවේ ධාන්‍ය තිබෙන වග යාකොබ්ට දැනගන්නට ලැබිණ. ඔහු තම පුත්‍රයින්ට කතා කොට, “නුඹලා එකිනෙකාගේ මුහුණු දිහා බලා සිටින්නේ මොකද? අන්න! ඊජිප්තුවේ ධාන්‍ය තියෙන වග මට ආරංචියි. අප නො නැසී ජීවත් වන පිණිස, දැන් එහි ගොස්, අපටත් ධාන්‍ය මිල දී, ගෙන එන්නැ” යි කීවේ ය.
එබැවින්, යෝසෙප්ගේ සහෝදරයින් දස දෙනෙක් ධාන්‍ය මිලයට ගන්නා පිණිස, ඊජිප්තුව වෙත ගියහ. එහෙත් යෝසෙප්ගේ සහෝදර බෙන්යමින්ට යම් විපතක් වේ දෝයි භය වූ යාකොබ් ඔහුගේ සහෝදරයින් සමඟ ඔහු පිටත් කර හැරියේ නැත. සාගතය කානාන් දේශයේ ද වූ බැවින් ධාන්‍ය මිලයට ගැනීමට ගිය ජනයා අතරේ ඉශ්‍රායෙල්ගේ පුත්තු ද වූහ.
මෙකල දේශයේ ආණ්ඩුකාරයා ව සිටියේ යෝසෙප් ය. දේශයේ හැම දෙනාට ම ධාන්‍ය වික්කේ ඔහු ය. එහි ළඟා වූ යෝසෙප්ගේ සහෝදරයෝ බිමට නැමී, වැඳ, ඔහුට ආචාර කළහ. යෝසෙප් තම සහෝදරයන් දුටු විගස, ඔවුන් හඳුනා ගත්තේ ය. එහෙත් ඔවුන් නො හඳුනන වගක් ඇඟවූ ඔහු, ඔවුනට රළු අන්දමින් කතා කරමින්, “කොහේ සිට නුඹලා ආවහු දැ?” යි ඇසුවේ ය.
ඔවුහු පිළිතුරු දෙමින්, “කානාන් දේශයේ සිට ය. ආහාර මිලයට ගන්නට යැ” යි කීවෝ ය.
යෝසෙප් තම සහෝදරයින් හැඳින්න නමුත් ඔවුන් ඔහු හැඳින්නේ නැත. ඔවුන් ගැන තමා දුටු සිහින සිහි කළ යෝසෙප්, “නුඹලා ඔත්තුකාරයො; නුඹලා ආවේ අප දේශයේ අනාරක්ෂිත තැන් බලන්නට යැ” යි ඔවුන්ට කීවේ ය.
ඔවුහු පිළිතුරු දෙමින්, “නැත මා ස්වාමිනි, ඔබගේ සේවකයින් පැමිණියේ ආහාර මිල දී ගන්නටයි. අප සැවොම එක මිනිසකුගේ පුත්‍රයෝ ය. අපි අවංක මිනිසුන් වෙමු; ඔබගේ සේවකයින් ඔත්තුකරුවන් නො වේ” යැයි පැවසූහ.
“නැහැ නුඹලා ආවේ අප දේශයේ අනාරක්ෂිත තැන් බලන්නට ම” යැයි ඔහු ඔවුන්ට පැවසී ය.
එහෙත් ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබගේ සේවක අප සහෝදරයින් දොළොස් දෙනෙක්. කානාන් දේශයේ වෙසෙන එක මිනිසකුගේ පුත්‍රයෝ ය. බාලයා දැනට අපගේ පියා ළඟ සිටී. එක් කෙනෙක් දැන් නැතැ” යි කීවෝ ය.
යෝසෙප් ඔවුන්ට කතා කරමින්, “මා නුඹලාට කී විදියමයි. නුඹලා ඔත්තුකරුවන්මයි. නුඹලා පරීක්ෂා කරනු ලබන්නේ මේ විදියටයි. නුඹලාගේ බාල සහෝදරයා මෙහි කැඳවාගෙන ආවොත් මිස, මෙතැනින් පිට වී යෑමට නුඹලාට ඉඩ නො ලැබෙන වග, පාරාවෝගේ ජීවිතය පා දිවුරමි. නුඹලාගේ සහෝදරයා කැඳවාගෙන එන පිණිස, නුඹලාගෙන් කෙනකු යවනු. සෙසු අය සිර බාරයේ තබනවා. එසේ කරන්නේ නුඹලා කී දෑ සත්‍යදැයි පරීක්ෂා කරන පිණිසයි. ඒවා සත්‍ය නො වේ නම්, පාරාවෝගේ ජීවිතය පා, නුඹලා ඔත්තුකරුවන් ම යැ” යි කීවේ ය. මෙසේ ඔහු දවස් තුනක් ඔවුන් සියල්ලන් සිර බාරයේ තැබී ය.
තුන් වන දවසේ යෝසෙප් ඔවුන්ට කතා කොට, “මෙහෙම කරන්න; එවිට ඔබේ දිවි රැකේවි. මන්ද මා දෙවියන්වහන්සේට භය ඇති කෙනෙක්. ඔබ අවංක මිනිසුන් නම්, ඔබ සහෝදරයින්ගෙන් කෙනකු මෙහි සිරගත ව සිටියදී, හාමතේ සිටින ඔබේ පවුල්වලට ධාන්‍ය රැගෙන, සෙසු අයට පිටත් ව ගිය හැකියි. එහෙත් ඔබේ බාල සහෝදරයා මා වෙත ගෙන ආ යුතුයි. එසේ ඔබේ වචන සත්‍ය වග ඔප්පු වීමෙන්, ඔබ නො නසිනු ඇතැ” යි කීවේ ය. ඔවුහු ඊට එකඟ වූහ.
එවිට ඔවුහු එකිනෙකා අමතමින්, “නිසැකයෙන් ම අපේ සහෝදරයා සම්බන්ධ ව කළ වරදට ලැබෙන දඬුවමක් මේක. ඔහු තම ජීවිතය ගැන අපට කන්නලව් කරද්දී, ඔහුගේ සිතේ පීඩාව අප දුටුවත්, අප ඇසුවේ නැහැ. එනිසයි මේ සිත් පීඩා අප පිට පැමිණ ඇත්තේ” යි කීහ.
එකල රූබෙන් පිළිතුරු දෙමින්, “කොලුවාට එරෙහිව පව් නො කරන්නැයි මා නුඹලාට කීවේ නැද්ද? ඒත්, නුඹලා ඇසුවේ නැත. මෙන්න දැන් ඔහුගේ ලේ ගැන අප ගණන් දිය යුතු ව ඇතැ” යි පැවසී ය. තම කතා බහ යෝසෙප්ට වැටහුණු වග ඔවුහු නො දත්හ. මන්ද දෙගොල්ල අතරේ භාෂා පරිවර්තකයකු විය.
යෝසෙප් ඔවුන් වෙතින් ඉවත හැරී හඬන්නට වන්නේ ය. ඉන්පසු යළි හැරී, යළිත් ඔවුන් සමඟ කතා කළේ ය. ඔහු ඔවුන් අතරින් සිමියොන් ගෙන, ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඔහු බැඳ දැමී ය.