උත්පත්ති 41:25-36

උත්පත්ති 41:25-36 SCV

එවිට යෝසෙප් පාරාවෝ අමතමින්, “පාරාවෝගේ සිහින දෙක එකක්මයි. දෙවියන්වහන්සේ, තමන් කරන්නට සූදානම් ව සිටින දේ පාරාවෝට එළිදරවු කර තියෙනවා. ඒ කදිම එළදෙනුන් හත්දෙනා, අවුරුදු හතක්. ඒ කදිම වී කරල් හත ද අවුරුදු හතක්. ඒ සිහින එකක්මයි. පසුව නැගී ආ කැහැටු, කැත එළදෙනුන් හත්දෙනා ද අවුරුදු හතක්; පෙරදිග සුළඟින් ඇකිළුණු, බොල් කරල් හත ද එයමයි. ඒවා සාගතයේ අවුරුදු හත ය. “එය පාරාවෝට මා කී පරිදි, දෙවියන්වහන්සේ කරන්නට යන දේ, උන්වහන්සේ පාරාවෝට පෙන්වා දී තියේ. ඇත්තෙන් ම අතිශය සමෘද්ධිමත් අවුරුදු හතක්, මුළු මහත් ඊජිප්තු දේශය පුරා උදා වෙයි. ඉන් අනතුරුව හත් අවුරුදු සාගතයක් එළැඹෙයි. එකල ඊජිප්තු දේශයේ සමෘද්ධිය අමතක ව යනු ඇති. සාගතයෙන් දේශය නැති නාස්ති වනු ඇත. පසුව පැමිණෙන සාගතය ඒ සා දරුණු වන බැවින්, දේශයේ සමෘද්ධිය මතකයෙන් බැහැර ව යයි. පාරාවෝට සිහිනය දෙආකාරයකින් පෙනුණේ, දෙවියන්වහන්සේ මෙම කාරණය ස්ථිර ව ම තීන්දු කර ඇති නිසයි. දෙවියන්වහන්සේ ඉක්මනින් එය ඉටු කරනු ඇති. “එබැවින් දැන් පාරාවෝ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවත් කෙනකු සොයා, ඊජිප්තු දේශයේ බාරකාරත්වයට ඔහු පත් කෙරේවා. සමෘද්ධියේ හත් අවුරුදු කාලය තුළ, ඊජිප්තු දේශයේ අස්වැන්නෙන් පහෙන් කොටසක් අය කර ගන්නා පිණිස, පාරාවෝ බලයලත් නිලධාරීන් පත් කෙරේවා. ඔවුන්, මතු පැමිණෙන මේ සාරවත් අවුරුදුවල සියලු ආහාර වර්ග එකතු කොට, පාරාවෝගේ ආධිපත්‍යය යටතේ, ආහාර සඳහා නගරවල ගබඩා කොට තැබිය යුතුයි. සාගතයෙන් දේශය විනාශ වී නො යන පිණිස, මෙම ආහාර, ඊජිප්තු දේශය පුරා මතු ඇති වන හත් අවුරුදු සාගතයේ පරිභෝජනයට වෙන් කොට තැබිය යුතු වේ යැ” යි කීවේ ය.