උත්පත්ති 34:24-31
උත්පත්ති 34:24-31 SCV
නගර දොරටුවෙන් පිටතට ආ-ගිය සියල්ලෝ හාමොර් හා ඔහුගේ පුත් ෂෙකෙම් සමඟ එකඟ වූහ. නගර දොරටුවෙන් පිටතට ආ-ගිය හැම පිරිමියෙක් ම චර්මඡේද කරනු ලැබී ය. තුන් වන දවසේ ඔවුන් වේදනාවෙන් පෙළෙමින් සිටින අතර, යාකොබ්ගේ පුතුන් දෙදෙනකු වන සිමියොන් හා ලෙවී යන දීනාගේ සහෝදරයෝ, තම අසිපත් ගෙන, අනපේක්ෂිත නගරයට පහර දෙමින්, හැම පිරිමියකු ම මරා දැමූහ. හාමොර්ට ද ඔහුගේ පුත් ෂෙකෙම්ට ද කඩු පහර දුන් ඔවුහු, ෂෙකෙම්ගේ නිවසින් දීනා ද රැගෙන, පිට ව ගියහ. තමන්ගේ සහෝදරිය අපවිත්ර කළ බැවින්, යාකොබ්ගේ සෙසු පුත්රයෝ පහර ලැබූවන් පිට පැන, නගරය කොල්ල කෑහ. ඔවුන්ගේ එළු බැටළු හා ගව රංචු ද ඔවුන්ගේ බූරුවන් ද නගරය ඇතුළත වූ දෑ ද ඉන් පිටත තණ පිටිවල වූ දෑ ද ඔවුහු පැහැර ගත්හ. ඔවුහු ඔවුන්ගේ මුළු වස්තුව ද ඔවුන්ගේ දරුවන් හා ස්ත්රීන් හැම දෙනා ද ඔවුන්ගේ නිවෙස්හි වූ සියලු දේ ද කොල්ලයක් කොට, ගෙන ගියහ. යාකොබ් එකල සිමියොන්ට හා ලෙවීට කතා කොට, “මේ දේශ වාසී ජනයා වූ කානානිවරුන්ට හා පෙරිස්සිවරුන්ට මා දුගඳක් වෙන්නට සැලැස්වීමෙන්, නුඹලා මා දමා ඇත්තේ මහ කරදරයකයි. ගණනින් අප ටික දෙනයි. ඔවුන් මට එරෙහිව සේනාංක රැස් කර, පහර දුනහොත්, මාත් මගේ පවුලත් විනාශ වේ” යි කීවේ ය. එහෙත් ඔවුහු පිළිතුරු දෙමින්, “අපේ සහෝදරිය වෙසඟනක සේ සැලකීම ඔහුට යුතු දැ?” යි ඇසූහ.

