උත්පත්ති 28:16-22

උත්පත්ති 28:16-22 SCV

තම නින්දෙන් පිබිදුණු යාකොබ්, “ස්වාමින්වහන්සේ සැබවින් ම මෙතැන සිටින සේක. ඒ වග මා දැන සිටියේ නැතැ” යි පැවසී ය. ඔහු භයපත් ව, “මොන තරම් භයංකර තැනක් ද මේ! මේ අන් කවරක් හෝ නො ව දෙවියන්වහන්සේගේ ගෘහයයි. මේ ස්වර්ගයේ දොරටුවයි” පැවසී ය. අලුයම් උදෙන් ම පිබිදුණු යාකොබ් තම හිසට යටින් තබා ගත් ගල ගෙන, සැමරුම් කණුවක් කොට සිටුවා, එහි මුඳුන මත තෙල් වත් කළේ ය. ඔහු එම ස්ථානයට බෙතෙල් යයි නම් තැබී ය. කලින්, ඒ නගරය හැඳින්වූයේ ලූස් නමිනි. ඉන්පසු යාකොබ් බාරයක් වෙමින්, “දෙවියන්වහන්සේ මා සමඟ සිටිමින්, මා යන මේ ගමනේදී මා රැක බලා ගනිමින්, මට කෑමට ආහාර ද ඇඳීමට ඇඳුම් ද සපයා දෙමින්, මගේ පියාගේ ගෙදරට මා සුරැකි ව ආපසු එන පිණිස කටයුතු කරන්නේ නම්, ස්වාමින්වහන්සේ මගේ දෙවියන්වහන්සේ වන සේක. සැමරුම් කණුවක් කොට මා පිහිටූ මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේ ය. ඔබ මට දෙන සියල්ලෙන් දසයෙන් කොටසක් මම ඔබට දෙන්නෙමි” යි පැවසී ය.