උත්පත්ති 27:5-17

උත්පත්ති 27:5-17 SCV

මේ අතර රෙබෙකා, ඊසාක් තම පුත් ඒසව්ට කී දේ අසා සිටියා ය. ඒසව් මසක් දඩයම් කර ගෙනෙන්නට වන වැදුණු කල, රෙබෙකා තම පුත් යාකොබ්ට කතා කොට, “මේ අහන්න! ඔබේ පියා ඔබේ සහෝදර ඒසව්ට කතා කොට, ‘මා මැරෙන්නට පෙර ස්වාමින්වහන්සේ ඉදිරියෙහි මගේ ආශිර්වාදය මා ඔබට දෙන පිණිස, මට දඩමස් ගෙනැවිත්, මට කන්නට එයින් රස අහර පිළියෙල කරන්නැ’ යි කියන අයුරු මට ඇහුණා. එබැවින් දැන් මා පුත, හොඳින් අසා, මා කියන දේ කරන්න. ගාලට ගොස්, හොඳ එළු නාම්බන් දෙන්නකු මට ගෙනැවිත් දෙන්න. එවිට ඔබේ පියා ආශා කරන විදියට ම රසවත් කෑමක් මම එයින් සාදන්නම්. එවිට ඔබේ පියා මියෙන්නට කලින් ඔහුගේ ආශිර්වාදය ඔබට දෙන පිණිස, කෑමට ඒවා ඔහු ළඟට ගෙන යන්නැ” යි කීවා ය. එවිට යාකොබ් තම මව වූ රෙබෙකා අමතා, “මගේ සහෝදර ඒසව් ගත පුරා ලෝම ඇති කෙනෙක්. මම මුදු හමක් ඇත්තෙක්; ඇතැම් විට මගේ පියා මා අතගා බලාවි. එවිට මා ඔහු රවටන වගක් පෙනී ගියහොත්, ආශිර්වාදයක් නො ව, මා පිටට එන්නේ ශාපයකැ” යි පැවසී ය. එවිට ඔහුගේ මව, “ඒ ශාපය මා පිට වැටුණාවේ. මා පුත, මා කියන දේ කරන්න. යන්න; උන් මට ගෙනැවිත් දෙන්නැ” යි කීවා ය. එබැවින් ඔහු ගොස්, උන් රැගෙන, තම මව වෙත ගෙනාවේ ය. ඔහුගේ පියා ආශා කරන විදියේ ම ප්‍රණීත අහරක් ඈ ඉන් පිළියෙල කළා ය. ඉන්පසු රෙබෙකා තමා ළඟ, ගෙදර තිබූ තම වැඩිමල් පුත් ඒසව්ගේ හොඳ ම ඇඳුම් ගෙන, තම බාල පුත් යාකොබ්ට ඒවා ඇඳවූවා ය. තවද ඈ, ඔහුගේ දෑත ද ඔහුගේ ගෙලෙහි සුමුදු කොටස ද එළු හමින් වැසුවා ය. ඉන්පසු ඈ, තමා පිළියෙල කර තිබූ රසවත් කෑම හා රොටි තම පුත් යාකොබ් අතට දුන්නා ය.