උත්පත්ති 24:1-8
උත්පත්ති 24:1-8 SCV
ආබ්‍රහම් මේ වන විට මහලු ව, බෙහෙවින් වියපත් ව සිටියේ ය. ස්වාමින්වහන්සේ හැම අයුරින් ම ඔහුට ආශිර්වාද කර තිබිණ. ආබ්‍රහම්, තමා සතු සියල්ලෙහි බාරකරු වූ තම ගෘහවාසී දෙටු සේවකයා අමතමින්, “ඔබේ අත මගේ කලවය යට තබා, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ද පොළොවේ දෙවියන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් මා දැන් ඔබ දිවුරවන්නේ, දැන් මා වෙසෙන කානානිවරුන් අතරේ දූවරුන් වෙතින් ඔබ මගේ පුතුට බිරිඳක සොයා නො දෙන බවටත්, මා උපන් රටටත්, මගේ ම නෑසියන් වෙතටත් ගොස්, මගේ පුතු ඊසාක්ට බිරිඳක ගෙන දෙන බවටත් යැ” යි කීවේ ය. එවිට සේවකයා ඔහු අමතමින්, “ඒ කාන්තාව සමහර විට මා සමඟ මේ දේශයට එන්නට අකමැති වීමට පුළුවන. එසේ වුවහොත්, ඔබ පිට වී ආ දේශයට මා ඔබේ පුත්‍රයා ආපසු ගෙන යා යුතු දැ?” යි ඇසී ය. “මගේ පුත්‍රයා ආපසු එහි ගෙන නො යෑමට වග බලා ගන්නැ” යි පැවසූ ආබ්‍රහම්, “මගේ පියාගේ පවුලෙන් හා මා උපන් රටෙන් පිටතට මා ගෙන ආ, මා අමතා, ‘ඔබේ වංශයට මම මේ දේශය දෙන්නෙමි’ යි දිවුරුමකින් මට පොරොන්දු වූ ස්වර්ගයේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පෙරටුව උන්වහන්සේගේ දූතයා යවන සේක. එවිට එහි සිට මගේ පුතුට බිරිඳක ගෙන එන්නට ඔබට හැකි වෙයි. එහෙත් ඔබ කැටිව ඒමට ඒ කාන්තාව අකමැති වුවහොත්, මගේ මෙම දිවිරිල්ලෙන් ඔබ නිදහස්: මගේ පුත්‍රයා ආපසු එහි ගෙන නො යා යුතු යැ” යි පැවසී ය.

