උත්පත්ති 21:9-19
උත්පත්ති 21:9-19 SCV
එහෙත් ඊජිප්තු ළඳ, හාගර් ආබ්‍රහම්ට බිහි කර දුන් පුත්‍රයා, සරදම් කරනු සාරා දුටුවා ය. එකල ආබ්‍රහම් ඇමතූ ඈ, “මේ දාසියත්, ඇගේ පුතාත් පලවා හරින්න. මන්ද මේ දාසියගේ පුතුට, මගේ පුතු ඊසාක් සමඟ උරුමය ලබන්නේ නැතැ” යි කීවා ය. තම පුත්‍රයා නිසා මේ කාරණයෙන් ආබ්‍රහම් මහත් සංවේගයට පත් විය. එහෙත්, දෙවියන්වහන්සේ ඔහු ඇමතූ සේක්, “ළමයා ගැනත්, ඔබේ දාසිය ගැනත් ශෝක නො වන්න. සාරා ඔබට කියන දේට ඇහුම්කන් දෙන්න. මන්ද ඔබගේ වංශයේ නාමය, පැවත යන්නේ ඊසාක් මගිනි. දාසියගේ පුත්‍රයා ද ජාතියක් බවට මම පත් කරවන්නෙමි. මන්ද ඔහු ඔබේ වංශය යැ” යි පැවසූ සේක. පසු දින අලුයම් උදෙන් පිබිදි ආබ්‍රහම් ආහාර ද සම්-බඳුනක ජලය ද හාගර්ට දුන්නේ ය. ඒවා ඇගේ උරඉස මත තැබූ ඔහු, ඉන්පසු දරුවා ද සමඟ ඇය පිටත් කර හැරියේ ය. එසේ පිටත් ව ගිය ඈ, බෙයර්ෂෙබා කාන්තාරයේ මංමුළා වූවා ය. සම් බඳුනේ වතුර ඉවර වූ කල, පඳුරක් යට දරුවා හැර තැබූ ඈ, හී සැරයක පමණ දුරක් ඔබ්බට ගොස්, හිඳ ගත්තා ය. “දරුවා මියැදෙනු මට බලා සිටිය නො හැකැ” යි පැවසූ ඈ ඉකි බිඳ හඬන්නට වන්නී ය. ළමයා නගන හඬ දෙවියන්වහන්සේට ඇසිණි. එවිට දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කරමින්, “මොකක් ද කාරණය හාගර්? භය වන්න එපා. සිටින තැන සිට දරුවා නගන හඬ දෙවියන්වහන්සේට ඇසී ඇත. නැගිටින්න, අවුත් දරුවා නැගිටුවා, ඔහුගේ අතින් අල්ලා ගන්න. මන්ද මම මහත් ජාතියක් බවට ඔහු පමුණු වන්නෙමි” යි කීවේ ය. ඉන්පසු දෙවියන්වහන්සේ හාගර්ගේ ඇස් විවර කළ සේක. එවිට ඈ දිය සහිත ළිඳක් දුටුවා ය. එහි ගොස්, සම් බඳුනට දිය පුරවා ගත් ඈ, ළමයාට බොන්නට දුන්නා ය.

