උත්පත්ති 2:4-20

උත්පත්ති 2:4-20 SCV

අහස් හා පොළොව මවනු ලැබූ කල්හි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පොළොව හා අහස් තැනූ කාලයේ ඒවායේ පරම්පරා පුවත මෙසේ ය. කිසි ශාක-පඳුරක් තවම පොළොවේ නො තිබිණ. යම් පැළෑටියකුදු හටගෙන නො තිබිණි. මන්ද ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පොළොවට වැසි එවා තිබුණේ නැති බැවිනි. භූමිය වගා කිරීමට කිසි මනුෂ්‍යයකු ද නො වී ය. එහෙත් මීදුමක් පොළොවෙන් පැන නැගී, මුළු මිහිතලය ම තෙත් කරවී ය. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා නිර්මාණ කොට, ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. එවිට මනුෂ්‍යයා ජීවමාන පුද්ගලයෙක් විය. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පෙරදිග, ඒදන්හි උයනක් වවා තිබූ සේක්, උන්වහන්සේ නිර්මාණ කළ මනුෂ්‍යයා එහි පිහිටූ සේක. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, දැකීමට ප්‍රිය වූත්, අහරට සුදුසු වූත් සියලු ගස් වැල් පොළොවෙන් හට ගැන් වූ සේක. උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ හා නරක නිශ්චය කිරීමේ ගස ද විය. උයන සරු කරනට ඒදන් සිට ගංගාවක් ගලා ගොස්, එතැන් පටන් හතර අතකට බෙදී ගියේ ය. පළමුවැන්නේ නම පීෂොන් ය. රත්රන් ඇති මුළු හවීලා දේශය වටා ගලා යන්නේ එයයි. ඒ දේශයේ රත්රන් හොඳ ය. දුර්ලභ සුවඳ දුම්මල ද ගෝමේද මැණික් ද එහි වෙයි. දෙවැනි ගංගාවේ නම ගීහොන් ය. මුළු කූෂ් දේශය වටා එය ගලා බසී. තෙවැනි ගංගාවේ නම ටයිග්‍රිස් ය. අසිරියා දේශයේ පෙරදිග ඔස්සේ ගලා යන්නේ එයයි. හතරවැන්න යුප්‍රටීස් ගංගාවයි. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ගෙන, ඒදන් උයන වගා කිරීමටත්, එය බලා ගැනීමටත් ඔහු එහි පදිංචි කර වූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින්, “උයනේ ඕනෑ ම ගසකින් නිදහසේ කෑමට ඔබට පුළුවන. එහෙත් හොඳ හා නරක නිශ්චය කිරීමේ ගසින් ඔබ නො කෑ යුතු ය. එයින් කෑ දවසේ ඒකාන්තයෙන් ම ඔබ නසිනු ඇතැ” යි කී සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කතා කොට, “මනුෂ්‍යයා තනි ව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියක සාදා දෙන්නෙමි” යි කී සේක. එකල ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ භූමියෙන් නිමවා තිබූ සියලු වන සතුන් ද අහස්හි සියලු පක්ෂීන් ද මනුෂ්‍යයා කෙසේ උන් නම් කරන්නේදැයි බලනු පිණිස, මනුෂ්‍යයා වෙත උන් ගෙන ආ සේක. මනුෂ්‍යයා කවර නමකින් ඒ ඒ සජීවී සතුන් ඇමතුවේ ද, ඒවා උන්ගේ නාම බවට පත් විය. මෙසේ, ගව-මහීෂාදී ඇති කරන සතුන් සියල්ලනට ද අහස් පක්ෂීන් හා සියලු වන සතුනට ද මනුෂ්‍යයා නම් දුන්නේ ය. එහෙත් ආදම්ට ගැළපෙන සහකාරියක හමු වුණේ නැත.

මෙයට අදාළ වීඩියෝ