ගලාති 5:7-15

ගලාති 5:7-15 SCV

ඔබ සිටියේ හොඳින් දුවමිනි; සත්‍යයට කීකරු වීමට ඔබට බාධා කළේ කවුරු ද? මෙම පෙලඹවීම, ඔබ කැඳවනු ලැබූ තැනැන්වහන්සේගෙන් නො වේ. “මුහුන් ඇබින්දකින් මුළු පිටි කැටිය ම පිපෙයි.” මා දරන ආකල්පය මිස, අනෙකක් ඔබට නැති බවට විශ්වාසයක් ස්වාමින්වහන්සේ තුළ මට තියේ. වියවුලට ඔබ ඇද දමන තැනැත්තා කවරකු වුවත් ඊට නිසි දඬුවම ඔහු ලබනු ඇත. සහෝදරයිනි, මා තවමත් චර්මඡේදය දේශනා කරනවා නම්, තවමත් මා පීඩා කරනු ලබන්නේ ඇයි? ඒ එසේ වී නම්, කුරුසියට ඇති විරෝධය අවලංගු වූවා වෙයි. ඔවැනි කැලඹීම් ඇති කරන්නන් තමන් ම නපුංසක බව තෙක් කප්පාදු කර ගන්නවා නම් මැනවි. මන්ද, මා සහෝදරයිනි, ඔබ කැඳවනු ලැබ ඇත්තේ නිදහස්කමට ය. එහෙත් ඒ නිදහස මාංසය පිනවීමට නො ව, එකිනෙකාට ප්‍රේමයෙන් සේවය කිරීමට යොදන්න. මන්ද: “ඔබ ඔබට ම ප්‍රේම කරන සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න” යන තනි ආඥාවේ සමස්ත ව්‍යවස්ථාව ම ඉෂ්ට වෙයි. එහෙත් ඔබ, එකිනෙකා සපා ගනිමින්, ගිලගනිමින් සිටිනවා නම්, එකිනෙකා අතින් විනාශ නො වන්නට බලා ගන්න.