ගලාති 1

1
1මිනිසුන් වෙතින් හෝ මිනිසකු මගින් හෝ නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ ද විසින් එවන ලද අපෝස්තුලුවරයකු වූ පාවුල් හා 2මා සමඟ සිටින සියලු සහෝදරයින් වෙතින්,
ගලාතියේ සභා වෙතයි:
3අපගේ පියාණන් වන දෙවියන්වහන්සේ වෙතින් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ වෙතින් ඔබට අනුග්‍රහයත්, සාමයත් අත් වේවා! 4උන්වහන්සේ, මේ වත්මන් දුෂ්ට යුගයෙන් අප මුදා ගන්නා පිණිස, අපගේ පාප උදෙසා තමන් ම පූජා වූයේ, අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේගේ අභිප්‍රාය පරිද්දෙනි. 5උන්වහන්සේට සදහට ම, සදාතනික ව තේජෝ මහිම වේවා! ආමෙන්.
එක ම ශුභාරංචිය
6ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය තුළ ඔබ කැඳවා ගත් තැනැන්වහන්සේ මෙතරම් ඉක්මනින් අත්හැර, ඔබ අමුතු ශුභාරංචියක් වෙත හැරී යෑම මට මහ පුදුමයක්. 7එය වෙනත් ශුභාරංචියක් නො වේ. ඇතමුන්ට ඕනෑව ඇත්තේ, ඔබ අවුලට පත් කර, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය විකෘති කිරීමයි. 8එහෙත් අප ඔබට දේශනා කළ එක හැර, වෙන අන් ශුභාරංචියක් අප හෝ ස්වර්ගයෙන් දේව දූතයකු හෝ ඔබට දේශනා කරන්නේ නම්, ඔහු ශාප ලද්දෙක් වේවා! 9කලින් අප කී පරිදි, දැන් මම යළිත් කියමි; ඔබ පිළිගෙන ඇති එක හැර වෙන ශුභාරංචියක් යමකු ඔබට දේශනා කරන්නේ නම්, ඔහු ශාප ලද්දෙක් ම වේවා!
10මා දිනා ගන්නට වැර දරන්නේ මිනිසුන්ගේ ප්‍රසාදය ද? දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ද? මා වෙහෙසෙන්නේ මිනිසුන් සතුටු කරන්නට ද? මා තවමත් මිනිසුන් සතුටු කරන්නෙක් නම්, මා ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු වන්නේ නැත.
දෙවියන්වහන්සේ විසින් කැඳවූ පාවුල්
11සහෝදරයිනි, මා දේශනා කළ ශුභාරංචිය, මිනිසුන් සෑදූ ශුභාරංචියක් නො වන වග ඔබ දැන ගන්නවාට කැමතියි. 12මන්ද එය කිසිවකුගෙන් මා ලබා ගත්තා නො වේ; මට එය ඉගැන්නුවා ද නො වේ. මා එය ලද්දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරවුවකිනි.
13මන්ද යූදා දහමේ සිටියදී මගේ කල් ක්‍රියාව ගැන, කොතෙක් සැහැසි ලෙස මා දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කළේ ද එය විනාශ කිරීමට කොතෙක් වැර දැරුවේ ද කියා ඔබ අසා ඇති. 14යූදා දහම් විෂයෙහි මගේ රට වැසියන් අතරේ මගේ වයසේ බොහෝ දෙනකු අභිබවමින් මම මගේ පියවරුන්ගේ චාරිත්‍ර ගැන ඉහ වහා ගිය උද්යෝගයෙන් ඇවිළ සිටියෙමි. 15එහෙත් මව් කුස පටන් මා වෙන් කර ගෙන, ස්වකීය අනුග්‍රහයෙන් මා කැඳවූ තැනැන්වහන්සේ, 16ස්වකීය පුත්‍රයාණන් මට එළිදරවු කිරීමට කැමති වූයේ, මා අන්‍ය-ජාතීන් අතරේ උන්වහන්සේ දේශනා කරන පිණිස ය. එකෙණෙහි ම මා කිසි මිනිසකුගෙන් උපදෙස් සෙව්වේ නැත; 17මට කලින් අපෝස්තුලුවරුන් ව සිටි අය දකින්නට මා යෙරුසලම් වෙත ගියේ ද නැත. මම අරාබියට ගොස්, පසුව දමස්කය වෙත ආපසු ආවෙමි.
18එයින් තුන් වසරකට පසුව, කේපස් බැහැදැකීමට මම යෙරුසලමට ගොස්, ඔහු සමඟ පහළොස් දවසක් ගත කළෙමි. 19ස්වාමින්වහන්සේගේ සහෝදර යාකොබ් හැර, අන් එක ම අපෝස්තුලුවරයකුදු මා දුටුවේ නැත. 20දෙවියන්වහන්සේ ඉදිරියේ මා ඔබට ලියන්නේ බොරු නො වේ.
21පසුව මම සිරියා හා සිලිසියා පෙදෙස් කරා ගියෙමි. 22ක්‍රිස්තුස්වහන්සේ තුළ යුදයේ සභා, මා කවුරුදැයි පුද්ගලික ව දැන සිටියේ නැත. 23“කලින් අපට හිංසා කළ මිනිසා, වැනසීමට තමා ම වරක් තැත් කළ ඇදහිල්ල දැන් ඔහු ම දේශනා කරයි” යන පුවත ඔවුන් අසා තිබුණා පමණි. 24මෙසේ ඔවුහු මා නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.

දැනට තෝරාගෙන ඇත:

ගලාති 1: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න