ගලාති 1:11-24

ගලාති 1:11-24 SCV

සහෝදරයිනි, මා දේශනා කළ ශුභාරංචිය, මිනිසුන් සෑදූ ශුභාරංචියක් නො වන වග ඔබ දැන ගන්නවාට කැමතියි. මන්ද එය කිසිවකුගෙන් මා ලබා ගත්තා නො වේ; මට එය ඉගැන්නුවා ද නො වේ. මා එය ලද්දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරවුවකිනි. මන්ද යූදා දහමේ සිටියදී මගේ කල් ක්‍රියාව ගැන, කොතෙක් සැහැසි ලෙස මා දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කළේ ද එය විනාශ කිරීමට කොතෙක් වැර දැරුවේ ද කියා ඔබ අසා ඇති. යූදා දහම් විෂයෙහි මගේ රට වැසියන් අතරේ මගේ වයසේ බොහෝ දෙනකු අභිබවමින් මම මගේ පියවරුන්ගේ චාරිත්‍ර ගැන ඉහ වහා ගිය උද්යෝගයෙන් ඇවිළ සිටියෙමි. එහෙත් මව් කුස පටන් මා වෙන් කර ගෙන, ස්වකීය අනුග්‍රහයෙන් මා කැඳවූ තැනැන්වහන්සේ, ස්වකීය පුත්‍රයාණන් මට එළිදරවු කිරීමට කැමති වූයේ, මා අන්‍ය-ජාතීන් අතරේ උන්වහන්සේ දේශනා කරන පිණිස ය. එකෙණෙහි ම මා කිසි මිනිසකුගෙන් උපදෙස් සෙව්වේ නැත; මට කලින් අපෝස්තුලුවරුන් ව සිටි අය දකින්නට මා යෙරුසලම් වෙත ගියේ ද නැත. මම අරාබියට ගොස්, පසුව දමස්කය වෙත ආපසු ආවෙමි. එයින් තුන් වසරකට පසුව, කේපස් බැහැදැකීමට මම යෙරුසලමට ගොස්, ඔහු සමඟ පහළොස් දවසක් ගත කළෙමි. ස්වාමින්වහන්සේගේ සහෝදර යාකොබ් හැර, අන් එක ම අපෝස්තුලුවරයකුදු මා දුටුවේ නැත. දෙවියන්වහන්සේ ඉදිරියේ මා ඔබට ලියන්නේ බොරු නො වේ. පසුව මම සිරියා හා සිලිසියා පෙදෙස් කරා ගියෙමි. ක්‍රිස්තුස්වහන්සේ තුළ යුදයේ සභා, මා කවුරුදැයි පුද්ගලික ව දැන සිටියේ නැත. “කලින් අපට හිංසා කළ මිනිසා, වැනසීමට තමා ම වරක් තැත් කළ ඇදහිල්ල දැන් ඔහු ම දේශනා කරයි” යන පුවත ඔවුන් අසා තිබුණා පමණි. මෙසේ ඔවුහු මා නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.

මෙයට අදාළ වීඩියෝ

ගලාති 1:11-24 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය