එස්රා 4:11-22
එස්රා 4:11-22 SCV
(ඔවුන් විසින් අර්තාෂස්තා වෙත එවන ලද ලිපියේ පිටපතකි මෙය) අර්තාෂස්තා රජතුමනි, ගඟ එතෙර පළාතේ සිටින ඔබගේ සේවකයින් වන මිනිසුන් වෙතිනි: ශුභ සිද්ධ වේවා! අප ඔබට ලියන්නේ, ඔබ වෙතින් අප වෙත ආ යුදෙව්වෝ යෙරුසලමට ගිය වගයි; ඔවුහු ඒ කැරලිකාර, දුෂ්ට පුරවරය යළි ගොඩ නගන වග රජතුමා දැන ගනීවා. ඔවුහු පවුරු පිළිසකර කරමින්, අත්තිවාරම් අලුත්වැඩියා කරමින් සිටිති. තවද මේ පුරවරය යළි ඉදි කොට, එහි පවුරු සම්පූර්ණ කළහොත්, ඔවුන් තවදුරටත් වරිපණම්, පඬුරු හා බදු ගෙවනු නැත. එවිට රජුගේ ආදායම් පහළ බසිනු ඇති වග රජතුමා දැන ගනීවා. මේ දක්වා අප රජ මැදුරේ ලුණු පරිභෝජන කරන බැවින්, රජුට නින්දාවක් වනු දැකීම අපට යුතු නැත. අප මේ පණිවුඩය රජුට දන්වා එවන්නේ, ඔබගේ පියවරුන්ගේ ලේඛන පිරික්සනු පිණිස ය. එවිට එම වාර්තාවලින් මේ පුරවරය කැරලිකාර පුරවරයක් වගත්, රජවරුන්ට හා පළාත්වලට කරදරකාරී වූ පුරාණ කාලවල පටන් කැරලිකාර ස්ථානයක් වූ වගත් දැනගත හැක. මෙපුර විනාශ වී ඇත්තේ එබැවිනි. මේ පුරවරය ඉදි කොට, එහි පවුරු සම්පූර්ණ කළහොත්, ඉන්පසු ගඟින් එගොඩ පළාතෙහි ඔබට කිසිවක් ඉතිරි නො වන වග අපි රජු දැනුම්වත් කරන්නෙමු. ඊට රජු මෙසේ පිළිතුරු එවී ය: අණ දෙන නිලධාරී රෙහූම්, ලේකම් ෂිම්ෂයි හා සමාරියේත්, ගඟෙන් එගොඩ පළාතේත් වසන ඔවුන්ගේ හවුල්කරුවන් වෙත: ශුභ සිද්ධ වේවා! ඔබ විසින් අප වෙත එවන ලද ලිපිය මා ඉදිරිපිට පැහැදිලි ව කියවන ලදී. මම නියෝගයක් නිකුත් කොට, සෝදිසි මෙහෙයුමක් ද දියත් කළෙමි. එවිට මේ පුරවරය පුරාණ කාලවල පටන් රජුන් විරෝධී තැනක් වගත්, කැරලිකාරී හා ද්‍රෝහි උසිගැන්වීමේ ස්ථානයක් වගත් දැනගන්නට ලැබිණි. ගඟෙන් එගොඩ මුළු පෙදෙස පාලනය කළ බලවත් රජවරු යෙරුසලමෙහි සිට ඇත. වරිපණම්, පඬුරු හා බදු ඔවුන්ට ගෙවනු ලැබිණ. වැඩ නවත්වන ලෙසට ඒ මිනිසුන්ට නියෝගයක් නිකුත් කරන්න. මා නියෝග කරන තුරු මේ පුරවරය යළි ඉදි කිරීම නො කළ යුතු ය. මේ කාරණය නො සලකා නොහරින්නට වග බලා ගන්න. රජුට හානියක් වන මේ අනතුර වර්ධන වන්නට ඉඩ තබන්නේ මන්ද?

