එස්රා 1

1
කෝරෙෂ් රජුගේ ප්‍රකාශනය
1පර්සියාවේ රජු වූ කෝරෙෂ්ගේ පළමු වසරේ, යෙරමියාගේ මුවින් පවසන ලද ස්වාමින්වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ඔහුගේ රාජ්‍යය පුරා නිවේදනයක් නිකුත් කරන්නටත්, එය ලිඛිත ව ප්‍රකාශයට පත් කරන්නටත් ස්වාමින්වහන්සේ පර්සියාවේ කෝරෙෂ් රජුගේ හදවත පෙලඹ වූ සේක.
2“පර්සියාවේ රජු වූ කෝරෙෂ් මෙසේ පවසයි:
“ ‘ස්වර්ගයේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මිහි පිට සියලු රාජ්‍යයන් මට පවරා දී, යූදාහි යෙරුසලමේ උන්වහන්සේට ගෘහයක් තනන්නට මට නියම කර තිබේ. 3උන්වහන්සේගේ ජනයාගෙන් යම් කෙනෙක් ඔබ අතරේ වේ ද, ඔහුගේ දෙවියන්වහන්සේ ඔහු සමඟ වේවා! ඔහු යූදාහි යෙරුසලම වෙත ගොස්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහය යළි ගොඩ නගත්වා! යෙරුසලමේ වැඩ සිටින දෙවියන්වහන්සේ උන්වහන්සේ ම ය. 4ඉතිරි ව සිටින අය දැන් ජීවත් වන ඒ ඒ තැන්හි වෙසෙන ජනයා, රිදී හා රන් ද භාණ්ඩ හා පශු සම්පත් ද සමඟ සිය කැමැත්තෙන් දෙන පඬුරු ද යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා ඔවුන්ට සපයා දෙත්වා.’ ”
5එවිට යෙරුසලමේ ස්වාමින්වහන්සේගේ ගෘහය යළි ගොඩ නගන්නට එහි යන පිණිස, දෙවියන්වහන්සේ විසින් හදවත පොලඹවන ලද සියල්ලන් වන යූදා හා බෙන්යමින් පියවංශ ප්‍රධානීහු ද පූජකවරු හා ලෙවීවරු ද ඊට සූදානම් වූහ. 6ඔවුන්ගේ අසල්වැසි සියල්ලෝ රිදී හා රන් භාණ්ඩ ද සත්ව සම්පත් ද වටිනා ත්‍යාග ද ඊට අමතරව සිය කැමැත්තෙන් ම පඬුරු ද ඔවුන්ට දුන්හ.
7තවද පෙරදී නෙබුකද්නෙසර් යෙරුසලමෙන් ගෙන ගොස්, ඔහුගේ දෙවියන්ගේ#1:7 දෙවියන්ගේ හෝ දෙවිවරුන්ගේ දෙවොලේ තැන්පත් කර තිබූ, ස්වාමින්වහන්සේගේ ගෘහයට අයත් භාණ්ඩ කෝරෙෂ් රජු ගෙනාවේ ය. 8පර්සියාවේ කෝරෙෂ් රජු ඒවා ගෙන ආවේ භාණ්ඩාගාරික මිත්රෙදාත් බාරයේ ය. ඔහු ඒවා ගණන් කර, යූදාහි අධිපති ෂේෂ්බසර්ට භාර දුන්නේ ය.
9බඩු ලැයිස්තුව මෙයයි:
රන් දීසි තිහකි,
රිදී දීසි දහසකි,
ධූම පාත්‍ර විසිනවයකි,
10රන් පාත්‍ර තිහකි,
ගැළපෙන රිදී පාත්‍ර හාරසිය දහයකි,
සෙසු භාණ්ඩ දහසකි,
11රන් හා රිදී භාණ්ඩ සියල්ල පන්දහස් හාරසියයකි.
පිටුවහල් ව සිටියවුන් බබිලෝනියේ සිට යෙරුසලමට එද්දී ෂේෂ්බසර් ඒ සියල්ල රැගෙන ආවේ ය.

දැනට තෝරාගෙන ඇත:

එස්රා 1: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න