එසකියෙල් 6

6
ඉශ්‍රායෙල්හි කඳුවලට එරෙහිව
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: 2“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල්හි කඳුවලට එරෙහිව, ඔබේ මුහුණ යොමු කර, ඒවාට එරෙහිව දිවැසි වැකි පවසමින්, 3මෙසේ කියන්න: ‘එම්බා ඉශ්‍රායෙල් කඳු, පරමාධිපති ස්වාමින්වහන්සේගේ වචනය අසනු. පරමාධිපති ස්වාමින්වහන්සේ කඳු සහ හෙල් ද ගිරි කඳුරු හා මිටියාවත් ද අමතා මෙසේ පවසන්නාහ: මෙන්න, මම නුඹලාට එරෙහිව අසිපතක් එවන්නට යන්නෙමි. නුඹලාගේ උස් තැන් පුදසුන් මම විනාශ කරන්නෙමි. 4නුඹලාගේ පූජාසන බිඳ හෙළනු ලැබේ. නුඹලාගේ සුවඳ දුම් පුදසුනක් කඩා බිඳිනු ලැබේ. මරා දමනු ලබන ඔබේ ජනයා මම දේව පිළිම අතරේ හෙළන්නෙමි. 5ඉශ්‍රායෙල්වරුන්ගේ මළ කඳන්, ඔවුන්ගේ දේව පිළිම ඉදිරිපිට මම අතුරන්නෙමි. නුඹලාගේ ඇටකටු, නුඹලාගේ පුදසුන් වටේට මම විසුරුවා දමන්නෙමි. 6නුඹලා කොතැනක වාසය කළත්, ඒ පුරවර විනාශ වනු ඇත. උස් තැන් පුදසුන් බිඳ හෙළනු ලැබේ. එසේ වන්නේ, ඔබගේ පූජාසන විනාශ ව, නැති නාස්ති කෙරෙන පිණිසත්, ඔබගේ දේව පිළිම කඩා බිඳ, සුන්බුන් කෙරෙනු පිණිසත්, ඔබගේ දුම් පුදසුන් කඩා හෙළන පිණිසත්, ඔබ සාදා ගත් දෑ වනසා දමන පිණිසත් ය. 7මරා දමනු ලබන ඔබේ ජනතාව ඔබ අතරේ වැටී යන කල, ස්වාමින්වහන්සේ මා වග ඔබ දැනගන්නවා ඇත.
8“ ‘එහෙත්, මම ඇතැම් දෙනකු ඉතිරි කරන්නෙමි. මන්ද, නුඹලා දේශ දේශයන්හි හා ජාතීන් අතරෙහි විසුරුවා දමනු ලැබූ කල, ඇතැම් දෙනකු කඩු පහරින් බේරී යනු ඇත. 9එසේ බේරීගියවුන් වහල්කමට තමන් ගෙන යනු ලැබූ ජාතීන් අතරෙහි දී මා සිහි කරනු ඇත. මවෙතින් ඔවුන් ඉවත හැරවූ ඔවුන්ගේ පරදාරික හදවත් ගැනත්, ඔවුන්ගේ දේව පිළිම සමඟින් වේශ්‍යාකමින් බැඳුණු ඔවුන්ගේ ඇස් ගැනත් මා සංවේගී වූයේ කෙසේදැයි සිහි කරනු ඇත. තමන් විසින් කරන ලද දුෂ්ටකම්වලට හා පිළිකුල් සහගත තමන්ගේ සියලු ක්‍රියා මාර්ග ගැන ඔවුහු තුමූම පිළිකුල් කර ගනිති. 10ස්වාමින්වහන්සේ මා වග ද ඔවුන් දැනගනු ඇත. මෙම ව්‍යසනය ඔවුන් පිට පැටවීමට මා තර්ජන කළේ අහේතුක ව නො වේ.
11“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඉශ්‍රායෙල් වංශයේ දුෂ්ට, පිළිකුල් සහගත සියලු ක්‍රියා මාර්ග නිසා, ඔවුන් කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද වැටී යනු ඇති බැවින් ඔබේ දෑත් එකට ගසමින්, අඩි හප්පමින්, “අනේ-අහෝ!” යි විලාප දෙන්න. 12ඈත එපිට සිටින්නා, වසංගතයෙන් මියෙන්නේ ය. ළඟ පාත සිටින්නා, අසිපතින් නැසෙන්නේ ය. ජීවත් ව ඉතිරි වී ගලවනු ලැබ සිටින්නා සාගතයෙන් මියෙන්නේ ය. මගේ උදහස මම ඔවුන් පිට වැය කරන්නේ එලෙසිනි. 13මෙසේ මරා දැමුණු තම ජනයාගේ මළ කඳන් සෑම උස් හෙලක් මත ද සියලු කඳු මුඳුන් පිට ද අතු විහිදුණු සෑම ගහක් යට ද කොළ අතු පිරි සෑම ඕක් ගස් යට ද යන වශයෙන් ඔවුන් තමන්ගේ දේව පිළිම සියල්ලට සුවඳ දුම් ඔප්පු කළ තැන්වල ඔවුන්ගේ පුදසුන් වටා ඔවුන්ගේ දේව පිළිම අතරේ බෑවී තිබෙනු දකින කල, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත. 14මම ඔවුන්ට එරෙහිව මගේ හස්තය දිගු කොට, කාන්තාරයේ පටන් දිබ්ලා දක්වා ඔවුන් වාසය කරන මුළු දේශය ම පාළු මුඩු බිමක් කරන්නෙමි. ස්වාමින්වහන්සේ මා වග එවිට ඔවුන් දැනගන්නවා ඇත.’ ”

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 6: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න