එසකියෙල් 47

47
මාලිගයේ දිය දහර
1ඒ මිනිසා ගෘහයේ පිවිසුම වෙත යළි මා පැමිණ වී ය. එවිට ගෘහයේ එළිපත යටින් නැගෙනහිර දෙසට ජලය ගලා එනවා මම දුටිමි. ගෘහය, නැගෙනහිරට මුහුණ ලා තිබිණ. වතුර ගලා ආවේ ගෘහයේ දකුණු පැත්ත යටිනි. පූජාසනයට දකුණු පැත්තෙන් ය. 2ඉන්පසු ඔහු උතුරු දොරටුව ඔස්සේ මා පිටතට ගෙනවුත්, නැගෙනහිරට මුහුණ ලූ පිට දොරටුව වෙත, පිටතින් වටේට මා ගෙන ගියේ ය. දකුණු පැත්තෙන් ජලය ගලා යමින් තිබිණ.
3මිනුම් කෝදුව අතැතිව, නැගෙනහිර දෙසට ගමන් ගත් ඒ මිනිසා, රියන් දහසක්#47:3 මීටර් 530ක් පමණ. මැන, දිය පාර මැදින් මා ගෙන ගියේ ය. දියෙහි ගැඹුර වළලුකර දක්වා විය. 4ඔහු තවත් රියන් දහසක් මැන, දිය පාර මැදින් මා ගෙන ගිය කල, එය දණහිස දක්වා තිබිණ. ඔහු තවත් රියන් දහසක් මැන, ඒ දිය පාර මැදින් මා ගෙන ගිය කල, දිය පාර ඉඟටිය දක්වා විය. 5ඔහු තවත් රියන් දහසක් මැන්නේ ය. දැන් එය ගංගාවකි. මට එය තරණය කළ නො හැක. මන්ද, ජල දහර නැග, පිහිනීමට තරම් ගැඹුරකින් යුත් එය කිසිවකුට ඊට බැස ඒ මැදින් යා නො හැකි තරම් විය. 6“මනුෂ්‍ය පුත්‍රය, ඔබට මෙය පෙනේ දැ?” යි ඔහු මගෙන් ඇසී ය.
ඉන්පසු ඔහු ගං ඉවුරට යළි මා පැමිණ වී ය. 7මා එතැනට ආපසු ආ කල, ගඟ දෙපැත්තේ ම ගස් මහත් ගණනාවක් තිබෙනු දුටිමි. 8ඔහු මා අමතමින්, මෙසේ පැවසී ය: “මේ ජලය නැගෙනහිර පළාත දෙසට ගලා, අරාබා නිම්නය#47:8 අරාබා නිම්නය එනම් යොර්දාන් මිටියාවත වෙත බැස, එතැනින් මුහුදට#47:8 මුහුදට එනම් මළ මුහුදට පිවිසේ. එය මුහුදට ගැලූ කල, මුහුදු වතුර මිරිදියට හැරේ#47:8 මිරිදියට හැරේ හෙවත් මුහුදු වතුර සුවපත් වේ.. 9මේ ගඟ ගලා යන කොතැනක වුව, රංචු ගණන් ජීවමාන සතුන් ජීවත් වනු ඇත. මේ ගං ජලය ගලා, ලුණු දිය, මිරිදිය කෙරෙන බැවින්, එහි බහුල ලෙසින් මසුන් ගැවසෙනු ඇත. මෙසේ මේ ගඟ ගලන කොතැනක වුව, සැවොම ජීවත් වනු ඇත. 10මසුන් මරන්නන් ඉවුර දිගේ සිටගනු ඇත. ඒන්-ගෙදීහි සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් දමන ස්ථාන වන්නේ ය. මධ්‍යධරණී මුහුදෙහි මෙන් එහි නා නා වර්ගයේ මසුන් වන්නේ ය. 11එහෙත්, වගුරු හෝ ගොහොරු තැන් මිරිදියට නො හැරේ. ඒවා ලුණු සඳහා වෙන් කෙරේ. 12ගඟේ දෙපැත්තේ ම ඉවුරු දිගේ හැම වර්ගයේ ම පලතුරු ගස් වැවේ. ඒවායේ කොළ මැලවෙන්නේ නැත. පල වරන්නේ නැත. ශුද්ධස්ථානයේ ජලය ඒවාට ගලා යන නිසා හැම මසක ම එහි පල හට ගැන්වේ. ඒවායේ පල ආහාර පිණිස ය; කොළ සුවය පිණිස ය.”
දේශයේ සීමා-මායිම්
13පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ දොළොස අතරේ උරුමයක් කොට ඔබ විසින් බෙදා දිය යුතු දේශයේ සීමා-මායිම් මෙසේ ය. යෝසෙප්ට පංගු දෙකක් හිමි වේ. 14ඔබ එය බෙදා දිය යුත්තේ ඔවුන් අතරේ එක සමාන උරුමයකට ය. ඔබගේ ආදී පියවරුනට එය දෙන්නට මම මගේ අත ඔසවා, දිවුළෙමි. මේ දේශය ඔබගේ උරුමය වන්නේ ය.
15“දේශයේ සීමා-මායිම් මෙසේ ය:
“උතුරු දෙසින් මධ්‍යධරණී මුහුදේ සිට හෙත්ලොන් මාවත ඔස්සේ ලෙබෝ-හමාත් පසු කොට සෙදාද්, 16බේරෝතා සහ සිබ්රායිම් ද (එය පිහිටියේ දමස්කයේ හා හමාත්හි මායිම අතර ය.) හවුරාන් සීමාවෙහි වූ හාසෙර්-හත්තීකොන් ද දක්වා ය. 17දමස්කයේ උතුරු මායිම සහ උතුරට හමාත් මායිම ඔස්සේ මුහුදේ සිට හසර්-ඒනාන් දක්වා සීමා මායිම පැතිරේ. උතුරු දිග සීමා මායිම එයයි.
18නැගෙනහිර දෙසින්, ගිලියාද් හා ඉශ්‍රායෙල් අතරේ යොර්දාන් ඔස්සේ තාමාර් දක්වා නැගෙනහිර මුහුද තෙක්, හවුරාන් ද දමස්කය ද අතරේ මායිම පැතිරේ. නැගෙනහිර සීමා මායිම වන්නේ එයයි.
19දකුණු දෙසින්, තාමාර් සිට මෙරීබා-කාදෙෂ් ජලය දක්වා ද එතැන් සිට මධ්‍යධරණී මුහුද තෙක් ඊජිප්තු ඇළ දිගේ ද මායිම දිවේ. දකුණු දිග සීමා මායිම එයයි.
20බටහිර දෙසින් මායිම, ලෙබෝ-හමාත් ඉදිරිපිට දක්වා මධ්‍යධරණී මුහුද ය. බටහිර දිග සීමා මායිම එයයි.
21“ඔබ මේ දේශය ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ අනුව ඔබ අතරේ බෙදා ගන්න. 22ඔබට ද ඔබ අතරේ පදිංචි ව සිටින හා ඔබ අතරේ බිහි වූ දරුවන් ඇති විදෙස්සන්ට ද උරුමයක් කොට දේශය බෙදා වෙන් කර ගන්න. ඔබ, ඔවුන් ඉශ්‍රායෙල් පුරවැසියන් වශයෙන් ගණන් ගත යුතු ය. ඔබ සමඟ ඔවුන්ට ද ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ අතරේ උරුමයක් ලැබිය යුතු ය. 23එම විදෙස්සන් වාසය කරන්නේ කවර ගෝත්‍ර වංශය අතරේ වුව ද, ඔබ ඔවුන්ට ඔවුන්ගේ උරුමය බෙදා, වෙන් කර දිය යුතු යැ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 47: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න