එසකියෙල් 46

46
1“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඇතුළු මළුවේ නැගෙනහිර දෙස දොරටුව, වැඩ කරන හය දවස තුළ වසා තැබිය යුතු ය. එහෙත් සබත් දවසේ හා නව සඳ දවසේ එය ඇර තැබිය යුතු ය. 2අධිපතියා, දොරකඩ බරාඳය ඔස්සේ පිටත සිට ඇතුළු ව, දොර කණුව ළඟ සිටගත යුතු ය. පූජකයා, ඔහුගේ දවන යාග පූජාව හා ඔහුගේ ශාන්ති පූජා, යාග කළ යුතු ය. ඔහු දොරකඩ එළිපත්ත ළඟදී නමස්කාර කර, ඉන්පසු පිටතට යා යුතු ය. එහෙත් දොරටුව සවස් වන තෙක් ම වසනු නො ලැබේ. 3සබත් දවස් හා නව සඳ දවස්හි දේශයේ ජනයා එම දොරටු පිවිසුම ළඟ ස්වාමින්වහන්සේ අබියස නමස්කාර කළ යුත්තෝ ය. 4අධිපතියා සබත් දවසේ ස්වාමින්වහන්සේට ගෙන ආ යුතු දවන යාග පූජාව, කැළැල් රහිත පිරිමි බැටළු පැටවුන් හය දෙනකු හා කැළැල් රහිත බැටළුවකු ය. 5බැටළුවා සමඟ නියමිත ධාන්‍ය පූජාව ඒෆාවකි#46:5 කිලෝග්‍රෑම් 16ක් පමණ.. බැටළු පැටවුන් සමඟ වූ ධාන්‍ය පූජාව, දීමට ඔහු රිසි තරමින් වන අතර එක් එක් ඒෆාව සමඟ තෙල් හින#46:5 ලීටර් 3.8ක් පමණ. බැගිනි. 6නව සඳ දවසේ ඔහු ගව නාම්බකු ද බැටළු පැටවුන් හය දෙනකු ද බැටළුවකු ද ඔප්පු කළ යුතු ය. උන් හැම කැළැල් රහිතවුන් විය යුතු ය. 7ඔහු විසින් සැපයිය යුතු ධාන්‍ය පූජාව වන්නේ, ගවයා සමඟ ඒෆාවකි. බැටළුවා සමඟ ද ඒෆාවකි. බැටළු පැටවුන් සමඟ ඔහු දීමට රිසි තරමින් වන අතර ඒ එක් එක් ඒෆාව සමඟ තෙල් හින බැගිනි. 8අධිපතියා ඇතුළු වන විට ඔහු ආ යුත්තේ දොරකඩ බරාඳය ඔස්සේ ය. ඔහු පිටතට යා යුත්තේ ද එමඟින් ම ය.
9“ ‘සම්මත මංගල්‍යයන්හි දී දේශයේ ජනයා ස්වාමින්වහන්සේ ඉදිරියට එන කල, නමස්කාර කිරීමට උතුරු දොරටුවෙන් ඇතුළුවන්නන් දකුණු දෙස දොරටුවෙන් පිට විය යුතු ය. දකුණු දෙස දොරටුවෙන් ඇතුළුවන්නන් උතුරු දොරටුවෙන් පිට විය යුතු ය. කිසිවකු හෝ තමන් ඇතුළු වූ දොරටුවෙන් ආපසු නො පැමිණිය යුතු අතර, විරුද්ධ පැත්තේ දොරටුවෙන් පිට විය යුතු ය. 10ඔවුන් ඇතුළු වන කල, ඔවුන් සමඟ ඇතුළුවීමෙන් ද ඔවුන් පිටතට යන කල ඔවුන් සමඟ පිටතට යෑමෙන් ද අධිපතියා ඔවුන් අතරේ සිටිය යුතු ය. 11මෙම උත්සව හා සම්මත මංගල්‍යයන්හි දී ධාන්‍ය පූජාව විය යුත්තේ, ගවයකු සමඟ ඒෆාවක් ද බැටළුවකු සමඟ ඒෆාවක් ද බැටළු පැටවුන් සමඟ දීමට ඔහු රිසි තරමින් ඒ එක් එක් ඒෆාව සමඟ තෙල් හිනක් බැගින් ද යන වශයෙනි.
12“ ‘අධිපතියා ස්වාමින්වහන්සේට ස්වේච්ඡා පූජාවක් කොට දවන යාග පූජාවක් හෝ ශාන්ති පූජා පිළිගන්වන කල, නැගෙනහිරට මුහුණ ලූ දොරටුව ඔහුට විවර කළ යුතු ය. සබත් දවසේ කළ පරිද්දෙන් ඔහු තම දවන යාග පූජා හෝ තම ශාන්ති පූජා හෝ ඔප්පු කෙරේවා. ඉන්පසු ඔහු පිටතට යා යුතු ය. ඔහු පිටතට ගිය පසු දොරටුව වසනු ලැබේ.
13“ ‘දිනපතා ස්වාමින්වහන්සේට දවන යාග පූජාවක් කොට කැළැල් රහිත එක් අවුරුදු බැටළු පැටවකු ඔබ සැපයිය යුතු ය. උදයක් පාසා ඔබ එය සැපයිය යුතු ය. 14තවද ඒ හා සමඟ ඔබ උදයක් පාසා, ධාන්‍ය පූජාවක් කොට පිටි ඒෆාවකින් හයෙන් කොටසක්#46:14 කිලෝග්‍රෑම් 2.7ක් පමණ. සමඟ පිටි තෙත් කරන පිණිස තෙල් හිනකින් තුනෙන් එකක්#46:14 ලීටර් 1.3ක් පමණ. ද සැපයිය යුතු ය. ස්වාමින්වහන්සේට පිළිගැන්වෙන මෙම ධාන්‍ය පූජාව නිරන්තර නියෝගයකි. 15මෙසේ නිත්‍ය දවන යාග පූජාවක් වශයෙන් බැටළු පැටවා ද ධාන්‍ය පූජාව හා තෙල් ද උදයක් පාසා සැපයිය යුතු ය.
16“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: අධිපතියා තමාගේ උරුමයෙන් තම පුතුන්ගෙන් කෙනකුට ත්‍යාගයක් දුන්නහොත්, එය ඔහුගෙන් පැවතෙන්නන්ට ද අයිති වේ. එය ඔවුන්ට උරුමයෙන් ලැබුණු භුක්තියකි. 17එහෙත්, අධිපතියා තමාගේ උරුමයෙන් ත්‍යාගයක් තම සේවකයකුට දුන්නහොත්, නිදහස් වසර (හෙවත් ජුබිලි වසර) තෙක් ඔහුට එය භුක්ති විඳිය හැකි ය. ඉන්පසු එය ආපසු අධිපතියාට පැවරේ. ඔහුගේ උරුමය හිමි වන්නේ ඔහුගේ පුතුනට පමණි. එය ඔවුන්ගේ ය. 18අධිපතියා ජනතාවගේ උරුමයෙන් ඔවුන් පන්නා දමා, ඔවුන්ගේ උරුමය අල්ලා නො ගත යුතු ය. ඔහු තම පුතුනට තමන් සතු ඉඩම්වලින් උරුමය දිය යුතු ය. ඒ මගේ ජනයාගෙන් කිසිවකුවත් තම උරුමයෙන් වෙන් කරනු නො ලබන පිණිස ය.’ ”
19ඉන්පසු ඒ මිනිසා, දොරටුව පැත්තේ වූ පිවිසුම ඔස්සේ, පූජකයන්ට අයත්, උතුරට මුහුණ ලූ ශුද්ධ කුටිවලට මා කැඳවා ගෙනවුත්, බටහිර කෙළවරේ වූ තැනක් මට පෙන්වී ය. 20ඔහු මා අමතමින්, “පූජා පිදවිලිවලින් ජනයා විශුද්ධ නො කෙරෙන සේ, ඒවා පිට මළුවට ගෙන ඒම වැළකෙන පරිදි, පූජකයින් වරද පහ කිරීමේ පූජා සහ පාප පූජා මස පිසින්නේත්, ධාන්‍ය පූජා පුලුස්සන්නේත් මෙතැන යැ” යි කීවේ ය.
21ඉන්පසු ඔහු පිටත මළුවට මා ගෙනවුත්, මළුවේ සතර කොන් වටා මා ගෙන ගියේ ය. මළුවේ ඒ හැම මුල්ලක ම තවත් මළුවක් මම දුටිමි. 22පිටත මළුවේ කොන් සතරෙහි වූ වට වූ කුඩා හතර මළුව, රියන් හතළිහක්#46:22 මීටර් 21ක් පමණ. දිගින් ද රියන් තිහක්#46:22 මීටර් 16ක් පමණ. පළලින් ද යුතු විණ. කොන් හතරෙහි වූ ඒ ඒ මළුව එක හා සමාන විණ. 23ඒ එක් මළුව වටා එහි ඇතුළත ගල් වැටියක් බැඳ, ඒ යටින් වැටිය වටා උදුන් සකසා තිබිණ, 24ඔහු මට කතා කරමින්, “ගෘහ මෙහෙයයේ යෙදෙන්නන්, ජනයාගේ පූජා පිසින මුළුතැන්ගෙවල් මේවා යැ” යි කීවේ ය.

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 46: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න